හිදැස: ජිනීවා, විශ්වාස භංගය, අතුරුදහන් කාර්යාලය හා පළාත් පාලනයේ නව සන්ධාන

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පිළිබඳ වූ පුවත්පත් වාර්තා ප්‍රමාණය දැඩි ලෙසින් මෙම සතියේ පහත වැටී තිබුණේ, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස-භංග යෝජනාව කෙරෙහි එම අවධානය යොමුවීමත් සමගිනි. ආර්ථිකය සහ වැඩිවන ජීවන වියදම මෙම සතියේ සිංහල පුවත්පත් තුළ ප්‍රධාන පුවතක් වී තිබෙනු දක්නට හැකි වුවද, දමිළ පුවත්පත්  වාර්තාකරණය තුළ එය විශ්වාස-භංග යෝජනාව පිළිබඳ විවාදය තුළ වූ අතුරු සටහනක් පමණක් වී තිබිනි. බලාත්කාරයෙන් අතුරුදහන් කරවීම් සහ අතුරුදහන් වූවන්ගේ පවුල් සාමාජිකයින්ගේ තත්වය දමිළ පුවත්පත් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා කරන්නට යෙදුණත්, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සිය කටයුතු ඇරඹීම මෙම සතියේ දමිළ පුවත්පත් තුළ ලබාගෙන තිබුණේ සීමිත අවධානයකි.

දෙමළ ජාතික සන්ධානය සහ විශ්වාස-භංග යෝජනාව

විශ්වාස-භංග යෝජනාවේ අර්බුදය පිළිබඳ දමිළ පුවත්පත් වාර්තාකරණය ප්‍රධාන වශයෙන්ම කේන්ද්‍රගතව තිබුණේ දෙමළ ජාතික සන්ධානය සිය ඡන්දය ලබාදිය යුත්තේ කෙසේද යන්න මතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩි වැඩියෙන් වික්‍රමසිංහ-විරෝධී ස්ථාවරයක් වෙත ගමන් කිරීමත් සමගින්, පාර්ලිමේන්තුවේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජනය තීරණාත්මක සාධකය වනු ඇති බවට දමිළ පුවත්පත් තුළ වූ අවබෝධය තවදුරටත් ස්ථාවර වී තිබිණි. සැබවින්ම දමිළ පුවත්පත් තුළ වූ ඇතැම් කොටස් මගින් එකිනෙක අමුණා පෙන්වා දුන් දෘෂ්ටිය වූයේ, දෙමළ ජාතික සන්ධානයේ ඡන්දයෙන් විශ්වාස-භංග යෝජනාවේ ඉරණම මෙන්ම ඉදිරි වසර දෙක තුළ ජාතික දේශපාලනය ගලා යන දිශානතියද තීන්දු වනු ඇති බවයි.

කෙසේ වුවත්, දෙමළ ජාතික සන්ධානය විසින් මෙහිදී සිය ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන පැනයේදී දමිළ පුවත්පත් මතය සැලකිය යුතු පරිද්දෙන් එකිනෙක හා අපසරණය වී තිබිණි. මෙම එක් මතයක් මගින් දරා සිටි ස්ථාවරය වූයේ ‘අගමැතිවරයාව ආරක්ෂා කිරීමෙන්’ ලබාගත හැකි කිසිදු දෙයක් නොමැති බවයි. යම් යම් දමිළ දේශපාලන මත දක්වන්නන් විසින් පෙන්වා දී තිබුණේ, වික්‍රමසිංහ යනු ඇතුළතින් මෙන්ම පිටතින්ද තර්ජනයන්ට මුහුණ දෙමින්, වඩ වඩාත් දුර්වල වෙමින් සිටිනා, හුදෙකලා වූ චරිතයක් බවයි. තවදුරටත් උදයන් කතුවැකිය මගින් තර්ක කොට තිබුණේ, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, හමුදා ඉවත් කිරීම, ව්‍යවස්ථා සංශෝධන සහ යුද වින්දිතයන්ට යුක්තිය ලබාදීම වැනි කරුණු වලදී අග්‍රාමාත්‍යවරයාට ඇත්තේ අතිශයින්ම දුබල බලයක් බවයි. මෙවැනි ගැටළු සඳහා විසඳුම් අත්පත් කරගත හැකි එකම මාර්ගය වන්නේ සමගි රජය ආරක්ෂා කරගැනීම වන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කළ අනතුරු ඇඟවීම, ප්‍රධාන දමිළ පුවත්පත් පුරා සිරස්තල මවා තිබිණි. මෙසේ මෙම දෘෂ්ටියේ යෝජකයන් විසින් තර්ක කොට සිටියේ, දෙමළ ජාතික සන්ධානය සරලවම ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකිය යුතු බවටයි.

මෙයට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිය මගින් යෝජනා කොට තිබුණේ, විශ්වාස-භංග යෝජනාව සඳහා කොන්දේසි සහගත විරුද්ධත්වයක් පෑමයි. මෙම තක්සේරුව පසුපස වූ තර්කනය පුළුල් වශයෙන්ම ‍රැඳී තිබුණේ ප්‍රත්‍යක්ෂ දෙකක් මතයි. එනම් (1) සමගි රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය දැනටමත් අසාර්ථක වෙමින් පවතින බව සහ (2) ජනපති සිරිසේන, මහින්ද රාජපක්ෂ සමගින් සන්ධානගත වීමක් කෙරෙහි භ්‍රමණය වෙමින් පවත්නා බවත් ය. මෙසේ මෙම දෘෂ්ටියේ යෝජකයන් විසින් උපදෙස් දී තිබුණේ, ප්‍රසිද්ධ අවබෝධතා ගිවිසුමක් පදනම් කරගනිමින් දෙමළ ජාතික සන්ධානය විසින් අගමැතිවරයාට සහාය පළකළ යුතු බවටයි.

කාටුනය: තිනක්කුරල් | ඉහල වම සහ පහල දකුණ ‘බලය’

පළාත් පාලන අධිකාරීන් ලෙසින් අලුත් සන්ධාන වැඩට බසී

රට පුරා වූ බොහෝ පළාත් පාලන ආයතන පසුගිය සතියේ සිය වැඩ අරඹා තිබිණි. සභාවන් විශාල ප්‍රමාණයක් සම්පූර්ණ බහුතරය නොමැතිව තිබීමත් සමගින් උතුරේ මෙන්ම දකුණේද මෙම සංක්‍රාන්තිය, අර්බුදය නිසාවෙන් පැල්ලම් ගැසී තිබිණි.

සිංහල පුවත්පත් මෙන් නොව දමිළ පුවත්පත් මගින්, කාන්තාවන් කෙරෙහි සියයට විසි පහක කෝටාවක් වෙන් කිරීමේ තීරණයද ඇතුළත්ව නව මැතිවරණ ක්‍රමයට ප්‍රබල විවේචනයක් එල්ල කරන්නට යෙදුනේ, එක් පක්ෂයකට හෝ බහුතර බලයක් හිමි නොවූ පළාත් පාලන ආයතන බහුල වීම සම්බන්ධයෙනි. තිනකුරල් ලිපියක් මගින් මෙම මිශ්‍ර සාමාජික සමානුපාතික නියෝජනය හඳුන්වා දී තිබුණේ ‘නව සහ අරුම පුදුම’ මැතිවරණ ක්‍රමයක් ලෙසින් වූ අතර, කාන්තාවන් සඳහා වන කෝටාව ප්‍රායෝගික නොවන දෙයක්ලෙසින් හඳුන්වා දී තිබිනි.

එක් පිලක සිට අනෙක් පිලට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයේදී, සිංහල පුවත්පත් මගින් තම පක්ෂයෙන් නම් කළවුන් හැර අනෙක් නගරාධිපති/සභාපති අපේක්ෂකයන් සඳහා ඡන්දය ලබාදුන් පළාත් පාලන ආයතන සාමාජිකයන් හට විශාල වශයෙන් චෝදනා එල්ල කොට තිබුණේ ඔවුන් දූෂිත ලෙසින් නම් කරමිනි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් දමිළ පුවත්පත් මත පළ කිරීම් තුළ, එවැනි උපාය උපක්‍රමයන්ට සම්බන්ධ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් කිසිවක් දක්නට නොලැබුණි.

මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් දෙමළ ජාතික සන්ධාන නායකත්වය දැඩි දෝෂාරෝපණයන්ට විෂය වී තිබුණේ, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමගින් දේශපාලන එකඟත්වයකට පැමිණි බවට වූ චෝදනාව සම්බන්ධයෙනි. මෙවැනි චෝදනාවන් පැන නැඟුණේ, දේශපාලනිකව සුවිශේෂී වන යාපනය නගර සභාව සඳහා වූ අරගලයෙනි. එහිදී පළමු රහස් ඡන්දයෙන් දෙමළ ජාතික සන්ධානයේ නගරාධිපති අපේක්ෂකයා ඡන්ද 18 ක් සමගින් ඉදිරියෙන් සිටියේ, 45 දෙනෙකුගේ සභාවෙන් ඡන්ද 13 බැගින් ලබාගත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) සහ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණට (TNPF) එදිරිවයි. කෙසේ වුවත් තුණ්ඩු ඇදීම මගින් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණු අපේක්ෂකයා අභියෝගයෙන් ඉවත් කෙරුණු පසුව, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයාද තරගයෙන් ඉවත් විණි. ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ මගින් බහුතර ආසන සංඛ්‍යාවක් සුරක්ෂිත කොට ගෙන තිබූ පේදුරු තුඩුව සහ චාවකච්චේරි නගර සභා ද දෙමළ ජාතික සන්ධානය මගින් අත්පත් කරගන්නට යෙදිනි.

දමිළ පුවත්පත් මගින් දෙමළ ජාතික සන්ධානයට චෝදනා එල්ල කොට සිටියේ, ජාතික පක්ෂ, රාජපක්ෂ හිතවාදීන් සහ හිටපු හමුදා බුද්ධි අංශ ක්‍රියාකාරීන් සමගින් සම්බන්ධ වීම තුළින් ජනතාවගේ කැමැත්තට ද්‍රෝහී වූයේය යනුවෙනි. එයට ප්‍රතිවිරුද්ධ ලෙසින් දමිළ පුවත්පත් මගින් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ සම්බන්ධයෙන් සිය සම්මානිත හැඟීම ව්‍යංගයෙන් මෙන්ම සෘජුවමද පෙන්වා තිබුණේ, ඔවුන් ප්‍රතිපත්තිමය ස්ථාවරයක සිටීම කරණ කොට ගනිමිනි.

කෙසේ නමුත් මෙම පැහැදිලි කිරීම මගින් අනෙකුත් වර්ධන නොසළකා හැර තිබුනේ, දේශපාලන උපාය උපක්‍රම යෙදීම උතුරේ දෙමළ ජාතික සන්ධානයට (TNA) පමණක් සීමා නොවූ බව පවසමිනි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) මගින්, යම් විශේෂී පළාත් පාලන ආයතයනක පළමු තැනට ආ පක්ෂයට අනෙකුත් පක්ෂයන්හි බාධාවකින් තොරව පාලන බලය ස්ථාපිත කිරීමට ඉඩ ලබාදෙන ලෙසට වූ දෙමළ ජාතික සන්ධාන යෝජනාව ප්‍රතික්ෂේප කර, යාපනය මහ නගර සභාවේදී දෙමළ ජාතික සන්ධානයට අභියෝග කරන්නටද යෙදිනි. මෙයට සමාන ලෙසින් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) මගින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (SLPP), ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (SLFP) යන පක්ෂයන්ගේ සහායද සමගින්, දෙමළ ජාතික සන්ධානය (TNA) මගින් බහුතර ආසන ප්‍රමාණය ලබාගෙන තිබූ වේලනෙයි ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික සන්ධාන අපේක්ෂකයා පරාජය කරන ලදී. අවසාන වශයෙන්, තිරුක්කෝවිල් ප්‍රාදේශීය සභාව සඳහා, ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) සහ ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (EPDP) එක්ව දෙමළ ජාතික සන්ධාන (TNA) අපේක්ෂකයා පසෙකට කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (SLFP) උප සභාපතිවරයකු පත් කරන්නට කටයුතු කර තිබිණි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි 

Related posts

Comments are closed.

Top