සමස්ත ශ්‍රීලනිපයම 10 දා කැබිනට් වර්ජනයේ

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාවෙන් පසු රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හෙට දිනයේ කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට තීන්දු කර තිබේ.

විශ්වාස භංගයට සහාය දුන් මෙන්ම ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රීලනිප අමාත්‍යවරුන්ද අප්‍රේල් 10 කැබිනට් මණ්ඩලය වර්ජනය කරනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර ගගන හා කියා සිටියේය.

ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැබිනට් මණ්ඩලයට සහභාගී නොවන්නේදැයි පැහැදිලි නැත.

එසේ වුවහොත් 2015 අගෝස්තුවේ පිහිටුවන ලද හවුල් ආණ්ඩුවේ නායකත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සහභාගිත්වයකින් තොරව මුල් වතාවට හමුවන දිනය හෙට වනු ඇත.

පැය තුනකට අධික කාලයක් ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ පැජට් පාරේ නිවසේදී රැස්වූ මධ්‍යම කාරක සභා රැස්වීමේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුනු දක්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමග එක්ව හවුල් ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාම වෙනුවෙනි.

ආණ්ඩුව සමග තව දුරටත් රැඳී නොසිට විපක්ෂයේ වාඩි විය යුතු බවට එස් බී දිසානායක, අනුර ප්‍රියදර්ශන යාපා සහ ලක්ෂ්මන් යාපා අමාත්‍යවරුන් කරුනු දක්වා තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අනාගතය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිලිබඳ කිසිදු අදහසක් දක්වා නැති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසිර ගොස් ඇත්තේ හෙට දිනයේ නැවත හමුවී තීරණයක් ගන්නා අදහසිනි.

Related posts

Comments are closed.

Top