දෙමළ ඉල්ලීම් ඉටුකළ යුත්තේ ඇයිදැයි ඇමැති රාජිත මාධ්‍යවේදීන්ට කියාදෙයි | VIDEO

උතුරේ දෙමළ ජනතාව කාලාන්තරයක් තිස්සේ ඉදිරිපත් කරන ඉල්ලීම් ඉටු කළ යුත්තේ ඇයිද යන්න ගැන රාජිත සේනාරත්න අමාත්‍යවරයා දැඩි ලෙස කරුණු දක්වනු මේ සතියේ කැබිනට් තීන්දු ප්‍රකාශ කිරීමේදී මාධ්‍ය හමුවේදී දැකගත හැකිවිය.

යුද හමුදාව විසින් පවරාගෙන තිබෙන ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ට සහන සැලසීම වැනි 2015 සිට පැවත එන ඉල්ලීම් එයින් ප්‍රධාන තැනක් ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමැතිවරයා පවසා සිටියේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය පැනවූ කොන්දේසියක් ලෙසින් එම ඉල්ලීම් ඉටු කෙරෙන බවට ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් එලිය සංවිධානය නගන චෝදනාවක් උපුටා දක්වමින් ප්‍රශ්න කළ මාධ්‍යවේදියකුගෙන්  අමාත්‍ය සේනාරත්න විමසා සිටියේ “දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කොන්දේසි ඕනෙද?” යනුවෙනි.

විශ්වාස භංගයෙන් අගමැති බේරා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකළ බව එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයාද යාපනයේදී ප්‍රකාශ කොට ඇති බව ඇමැතිවරයා සිහිපත් කර දුන්නේය.

කාලකන්නි මතවාද

මාධ්‍යවේදියා සඳහන් කළ සංවිධානය “කාලකන්නි මතවාද” ඉදිරිපත් කරන “කළුවරේ ඉඳගෙන එලිය කියලා කෑගහන” එකක් ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා විසින් හෙලා දකින ලදී.

“අහිංසක මිනිස්සුන්ට ඉඩම් දෙනකොට එකෙනුත් දේශපාලන වාසි ගන්න හදන එක,” සම්බන්ධයෙන් කනගාටුව පල කළ ඔහු උතුරේ හමුදාකරණය සම්බන්ධයෙන් නැගී තිබෙන චෝදනා තහවුරු කළේය.

“මේ ආමි එකේ බේකරිය දාල තියෙන්නෙත් මිනිස්සුන්ගේ ඉඩම් අරගෙනනේ. ආමි එකේ බේකරි දාගෙන ගෙවල් ගහගෙන මේක විකාරයක්නේ?”

හමුදාව වාඩිලාගෙන ඉන්නා දෙමළ ජනතාවගේ ඉඩම් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා රජය තුල  සටන් වදින බවට අමාත්‍යවරයා සහතික විය.

දේශපාලන සිරකරුවන් ගැන එදිරිවාදී ලෙසින් ප්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට අමාත්‍යවරයා කියා සිටියේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යොදාගෙන අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගෙන නඩු නැතිව වසර ගණන් රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීමට කඩිනම් පියවර ගත යුතු බවයි.

“අත් අඩංගුවට ගන්නකොට තෝරලා බේරලා පැටිකිරිය බලලා නෙමෙයි ගත්තේ,” යි රාජිත සේනාරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Comments are closed.

Top