“ගෝත්‍රික නායකත්වයක්” බලයට පත් කිරීම සඳහා අස්ගිරියේ කතිකාවතක් | VIDEO

විධායක ජනාධිපති ධුරය අහෝසි කොට ව්‍යවස්ථාවෙන් දෙමළ ජනතාවට පුළුල් බලතල විමධ්‍යගත කිරීම අත්හිටුවීම සඳහා සිංහල බෞද්ධ නායකත්වයක් බලයට ගෙන ඒම අරමුණු කොටගෙන අස්ගිරි මහනාහිමි ප්‍රමුඛ ඉහල පෙළේ සංඝ නායකයන් පස් කට්ටුවක් සමග විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සාකච්ඡා පවත්වා තිබේ.

එවන් අදහස් රැගත් “රට වෙනුවෙන් කතා කරන” තමන ඇතුළු බලවේග එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා විසින් හඳුන්වා දෙන ලද්දේ “ගෝත්‍රික මිනිස්සු” හැටියටයි.

“ගෝත්‍රික සිතුවිලි තියෙන මිනිස්සු රටට අවශ්‍ය වෙලා තියෙනවා,” යි කී ජනාධිපති නීතිඥ විජයදාස තමන් එම මතවාද වෙනුවෙන් පෙනී සිටීම නිසා අමාත්‍ය ධුරයද අහිමිවූ බව සංඝයා වහන්සේ හමුවේ කියා සිටියේය.

හිටපු අධිකරණ හා බුද්ධ සාසන අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද පරිදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීමට සහ යුද අපරාධ චෝදනා පිලිබඳ විභාග කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව එක්සත් ජාතීන් හමුවේ ගිවිසගත් පරිදි කටයුතු නොකිරීම පිළිබඳව විමසූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ යුරෝපා සංගමයේ නියෝජිතයන් “බැනලා එලවා ගැනීම” නිසා ඔහුට අමාත්‍ය ධුරය අහිමි විය.

මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් පසුගිය ජූලි මාසයේ රජයේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය සහ ත්‍රස්ත විරෝධී නීති ජාත්‍යන්තර මානව හිමිකම් වලට අනුකූල වන පරිදි කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නිර්දේශ එවක අධිකරණ අමාත්‍යවරයාගේ බරපතල විරෝධයට හේතුවී තිබුනි.

එක්සත් ජාතීන්ගේ නියෝජිතයා හමුවූ අවස්ථාවේ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කළ ආකාරය රාජ්‍ය තාන්ත්‍රික භාවයට නොගැලපෙන බවට විදේශ අමාත්‍යව රවි කරුණානායක මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීර ද අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දොස් පවරා තිබුනි.

සිංහල බෞද්ධයන් අනාරක්ෂිතව ඉන්නා බවට භීතිකාවක් ප්‍රකාශයට පත්වුනු අස්ගිරි සාකච්ඡාවේදී ව්‍යවස්ථා සංශෝධනය සහ බලය බෙදා හැරීම වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතිය නියෝජනය කරන පක්ෂ දැඩි ලෙස හෙලා දැකීමට ලක්විය.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර බලය විමධ්‍යගත කිරීම සඳහා දෙනලද පොරොන්දුවක් අනුව දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාස භංගය පරාජය කිරීම සඳහා ඡන්දය පාවිච්චි කළේ නම් ඉඩම් හා පොලිස් බලතල බෙදාදීම “විශාල ගැටළුවක්” වන බව ආණමඩුවේ ධම්මදස්සී අනුනායක හිමියෝ ප්‍රකාශ කර සිටියහ.

නගුටින් බල්ලා වැනීම

සුළු පක්ෂ විසින් “නගුටින් බල්ලා වැනීම” සිදු කරන ආකාරයට ආණ්ඩුවට බලපෑම් කරන බව අමාත්‍යවරයාගේත් භික්ෂුන් වහන්සේගේත් අදහස විය.

ඊට විරුද්ධ සිංහල බෞද්ධ බලවේගයක් ගොඩනැංවීමට සූදානම් නායකත්වයක් ආණ්ඩුවේත් විපක්ෂයෙත් ඉන්නා බව ප්‍රකාශ කළ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනතා පෙළ ගැස්වීමක් සඳහා නායකත්වය ලබා දෙන ලෙස  සංඝයා වහන්සේගෙන් ඉල්ලා සිටියේය.

සිංහල බෞද්ධ විකල්ප නායකත්වයක් රටට අවශ්‍ය බව අවධාරණය කළ වේඬරුවේ උපාලි අනුනායක හිමියන් කියා සිටියේ “අපට මහා විහාරය හැටියට භික්ෂුන් වහන්සේ හැටියට නිවට වෙලා ඉන්න බෑනේ,” යනුවෙනි.

“අනික් සුළු ජාතීන් සමග මේ 2500 හිටියා වගේ ඉන්නවා,” යි උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ.

වර්තමානයේ රටේ අස්ථාවර භාවයක් ඇති වීම ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සංඝයා වහන්සේගේත් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේත් දෝෂ දර්ශනයට ලක්විය.

මැදගම ධම්මානන්ද හිමියන් විසින් එම අස්ථාවර භාවය හඳුන්වන ලද්දේ “නිර්පාක්ෂිකව ඉන්න හිටපු ජනාධිපති අවසානයේ පක්ෂය බදාගත්තු හින්දා ඇතිවෙච්චි අර්බුදයක්” ලෙසය.

සිංහල බෞද්ධ අවශ්‍යතා වෙනුවෙන් බලවේගයක් ගොඩනැගීම සඳහා ජනතා මතයක් ඇතිකිරීම සඳහා මැදිහත්වීමට තමන් කළ ආරාධනය අස්ගිරියේ මෙන්ම මල්වත්තේද මහනාහිමිවරුන් විසින් පිළිගන්නා ලද බව විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සාකච්ඡා හමාරයේ මාධ්‍යවේදීන් අමතා කියා සිටියේය.

Related posts

Comments are closed.

Top