ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට “වෙනස්කම් හා ආරක්ෂක අංශ අඩන්තේට්ටම්”

රටපුරා දෙමළ ජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් කරන වෙනස්කම් පෑම් මෙන්ම ආරක්ෂක අංශ විසින් සිදුකරන අඩන්තේට්ටම් පිළිබඳව පසුගිය වසරේත් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

එලෙසින්ම, ප්‍රධාන ධාරාවේ නොවන ක්‍රිස්තියානි කණ්ඩායම් වලට එරෙහිවද වෙනස්කම් හා අඩන්තේට්ටම් සිදු කෙරෙන බව ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

“දේශීය මෙන්ම ඉන්දීය සම්භවයකින් යුත් දෙමළ ජනතාව තරයේ කියා සිටින්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය, රජයේ රැකියා, නිවාස, සෞඛ්‍ය සේවා, භාෂා නීති සහ පුරවැසි ලියා පදිංචිය සම්බන්ධ දීර්ඝ කාලීන, ආයතනගත් වෙනස්කම් වලින් තවමත් විඳවන බවයි,” යනුවෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය වසරේ මානව හිමිකම් වාර්තාවේ සඳහන් කර තිබේ.

“ආරක්ෂක අංශ විසින් රට පුරාමත්, විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ගැන නිරන්තරයෙන් සෙවිල්ලෙන් සිටිමින් ආරක්ෂක අංශ තම ප්‍රජාවට කරන අඩන්තේට්ටම්  ගැන වාර්තා කර තිබේ. මෙහිදී ක්‍රියාධාරීන් සහ එල්ටීටීඊ යේ හිටපු හෝ සිටි බවට සැකකෙරෙන පුද්ගලයන් විශේෂිතය.”

ක්‍රිස්තියානි සහ මුස්ලිම් වන්දනා ස්ථාන වලට එරෙහි ප්‍රහාර ගැනද වාර්තාවේ සඳහන් වන අතර 2017 අප්‍රේල් හා ජූලි කාලය ඇතුලත වාර්තා වී ඇති මුස්ලිම් විරෝධී ප්‍රහාර සංඛ්‍යාව 20 කට අධිකය. ඒ සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගන්නා ලද පොලිස් නිලධාරියකු ඇතුළු හතර දෙනාම බොදු බල සේනා සාමාජිකයන් බව රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි ධර්මදාන සන්ධානයේ  (NCEASL) තොරතුරු උපුටා දක්වන එක්සත් ජනපද වාර්තාව පවසන්නේ නොවැම්බරය දක්වා කාලය තුල දේවස්ථාන වලට එල්ලවූ ප්‍රහාර, බියගැන්වීම්, දේවගැතිවරුන්ටත් දායකයන්ටත් එරෙහි ප්‍රචණ්ඩතා හා ආගමික කටයුතු වලට බාධා පැමිණවීම් 79 ක් සිදු කර ඇති බවයි.

නීති විරෝධී අධි ආරක්ෂක කලාප

හදිසි නීතිය 2011 දී ඉවත් කිරීමෙන් අනතුරුව අධි ආරක්ෂක කලාප ලෙස ප්‍රදේශ නම් කර තිබීම නීති විරෝධී බව පෙන්වා දෙන රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව පවරා ගන්නා ලද ඉඩම් ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගන්නා ආකාරය දක්වා තිබේ.

“පවරා ගැනීමේ දැන්වීමේ දැක්වෙන පරිදි බොහෝ ඉඩම් අත්පත් කරගනු ලබන්නේ හමුදා කඳවුරු සඳහා වුවද, හෝටලයක්, කර්මාන්ත ශාලාවක් සහ ගොවිපලක් සෑදීම පවරා ගැනීමේ හේතුව ලෙස ඇතැම් දැන්වීම් වල දැක්වේ.”

පසුගිය පාලන සමයේ සිදුකළ ආකාරයේ බරපතල මානව හිමිකම් උල්ලංඝන ගණනාවක් තවමත් සිදුවන බව සඳහන් කරන වාර්තාව යුද සමයේත්, ඉන් පසුවත් සිදුකළ අපරාධ සම්බන්ධයෙන් මෙන්ම සාමාන්‍ය ජනතාවට එරෙහිව දැනුත් සිදුකරන අඩන්තේට්ටම් සම්බන්ධයෙන්ද හමුදාව සහ පොලිසිය දඬුවම් නොලබා බේරී සිටින බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

“නීති විරෝධී ඝාතන, වධබන්ධන, හිතුමතේ අත් අඩංගුවට ගැනීම, දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම, හමුදාව ප්‍රමාණවත් ලෙස ඉඩම් ආපසු නොපැවරීම සහ සිවිල් සමාජ ක්‍රියාධාරීන් සහ මාධ්‍යවේදීන් සෝදිසියට සහ හිරිහැරයට ලක් කිරීම ඉතා බ්‍රපාතල මානව හිමිකම් ප්‍රශ්න ලෙස පවතී.”

කෙසේවෙතත්, මානව හිමිකම් උල්ලංඝන සිදුකළ ඇතැම් නිලධාරීන් සම්බන්ධයෙන් රජය නීත්‍යානුකුල පියවර ගෙන ඇතැයි පවසන ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික වාර්තාව අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම හැරුනුකොට සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණ පිහිටුවීමේදී ආණ්ඩුව ලබා ඇත්තේ සීමිත ප්‍රගතියක් යැයි වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

Comments are closed.

Top