දෙමළ නිජබිම තුල දෙමළ රාජ්‍යයක් සඳහා අරගලයට බාහුගේ සහාය | VIDEO

උතුරු නැගෙනහිර දෙමළ නිජභූමිය තුළ දෙමළ ස්වයංපාලනයක් පිහිටුවාගැනීම සඳහා කරන සටන වෙනුවෙන් නව සමසමාජ පක්ෂ නායකයාගේ සහාය පලවී තිබේ.

පෙඩරල් පක්ෂය නමින් ප්‍රකට දෙමළ රාජ්‍ය පක්ෂයේ නායක එස් ජේ වී චෙල්වනායගම්ගේ 26 වැනි ගුණ සමරු දේශනය යාපනයේ දී පවත්වමින් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේ දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීම වෙනුවෙන් කළ යුතු අරගලය තවමත් නිමා වී නැති බවයි.

“දෙමළ රාජ්‍යයක් දෙමළ නිජබිම තුළ සකසා ගැනීම සඳහා තියෙන අරගලය තව දුරටත් ඉදිරියට ගෙනිහිල්ලා ඒක අවසාන කරන්න තියෙනවා,” යි කී නසසප නායකයා නව ව්‍යවස්ථාවක් තුල එම සටන ජය ගැනීමේ හැකියාව පිළිබඳව විශ්වාසය පල කළේය.

ඔහු පැහැදිලි කොට සිටියේ පෙඩරල් පක්ෂ නායකයාගේ සටන් ක්‍රමය බහුජන අරගලය වූ බවයි.

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා චෙල්වනායගම් විසින් එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක සහ ඩඩ්ලි සේනානායක යන අගමැතිවරුන් සමග දෙවතාවකදී එළැඹි ගිවිසුම් ක්‍රියාත්මක නොකිරීමට සමසමාජ, කොමියුනිස්ට්  වාමාංශික පක්ෂ අතීතයේ දැක්වූ විරෝධය ඉතිහාසයේ ලද විශාල පරාජ දෙකක් බව නසසප නායකයා පෙන්වා දුන්නේය.

දෙමළ ජාතියේ පියා ලෙස විරුදාවලි ලත් එස් ජේ වී චෙල්වනායගම් විසින් පිහිටුවන ලද පක්ෂයේ දෙමළ රාජ්‍ය යන නම හෙලා දකින දකුණේ පිරිස් එම සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන අනාගමික සහ සමාජවාදී ගුණාංග වසං කිරීම ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ දෝෂ දර්ශනයට ලක්විය.

Related posts

Comments are closed.

Top