දෙමළ විරෝධතා: ලන්ඩන් “එල්ටීටීඊ කාරයෝ” උතුරේ “බිස්නස් එකක්”

යුද්ධයෙන් නම අවුරුද්දක් ගතවීත් නොලද යුක්තිය ඉටු කරවා ගැනීම වෙනුවෙන් රට තුලත් ඉන් පිටතත් සටන් වදින දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයාගේ බරපතල නිග්‍රහයට ලක්ව තිබේ.

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම, දේශපාලන සිරකරුවන් රඳවා තබා ගැනීම සහ ආරක්ෂක අංශ විසින් ඉඩම් අත්පත් කරගෙන සිටීමට විරෝධය පා උතුරේත්, ඉකුත් දා ලන්ඩනයේත් උද්ඝෝෂණ කළ දෙමළ පිරිස් “ඊළම් වාදීන්” ලෙසින් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩන් ගොස් සිටි ජනාධිපතිවරයාගේ දැඩි ප්‍රහාරයට ලක්විය.

උතුරේ නොවිසඳුනු ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටත්, පොදුරාජ්‍ය මණ්ඩලයටත් සිය ගණනක් දෙමළ ජනතාවගේ විරෝධය පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභා රැස්වීම ආරම්භ වූ දා ලන්ඩනයේදී පල විය.

ඔවුන් “එල්ටීටීඊ කාරයන්” ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හෙලා දකින ලද්දේ බීබීසී ය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

“ඒ ගොල්ලෝ කියන්නේ ඒ ගොල්ලන්ට තියන අවසාන විසඳුම ඊළම කියලා. ඕක කවදාවත් කෙරෙන වැඩක් නෙවෙයිනේ,” යි ජනාධිපතිවරයා කියා සිටියේය.

ආරක්ෂක සේනා වාඩිලාගෙන සිටින උතුරේ ඉඩම් නිදහස් කරන ලෙස ලන්ඩනයේ විරෝධතා කරුවන් නැගූ හඬ ජනාධිපතිවරයා විසින් අවඥාවට ලක් කෙරුනේ “මෙව්වා හරි විහිලු” යනුවෙනි.

ආණ්ඩුවේ ඉඩම් තෑගි

නීති විරෝධී ලෙසින් යුද හමුදාව විසින් අත්පත් කරගෙන සිටි අක්කර සිය ගණනක් පසුගියදා මුල් අයිතිකරුවන්ට ආපසු පැවරීම “තෑග්ගක්” ලෙසින් බීබීසීයට හඳුන්වා දුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා පවරාගත් ඉඩම් වලින් 80% ක් ආපසු දී ඇති බව කියා සිටියේය.

ශ්‍රී ලංකා යුද හමුදාව 28 අවුරුද්දක් තිස්සේ වාඩිලාගෙන සිටි වලිකාමම් උතුරේ අක්කර 683 ක් ආපසු පවරා දීමෙන් අනතුරුව එහි ගිය ඉඩම් හිමියන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ටද  දැක ගන්නට ලැබුනේ තවමත් යුද හමුදාව ඒ භූමියේ කඳවුරු ඉදිකර, කටුකම්බි ගසා පාරවල් අවහිර කොට ඇති ආකාරයයි.

වර්ෂාධික කාලයක් තම ඉල්ලීම් වෙනුවෙන් අඛණ්ඩ අරගලයක යෙදෙන උතුරේ ජනතාවද “ඊළම්වාදීන්” හා “බිස්නස් කාරයන්” ලෙස හෙලා දුටු ජනාධිපතිවරයා ඒ කිසිවකු සමග සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර සිටියේය.

“ඒ ගොල්ලෝ තවමත් ඊළම ගැන කතා කර කර ආයතන වශයෙන් සංවිධානය වී සල්ලි හම්බ කරන එක තමයි කරන්නේ,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බීබීසී යට කියා සිටියේය.

“ඒ ගොල්ලෝ UNHRC එකට UN එකට වෙනත් රාජ්‍ය වලට පෙන්නනවා ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නේ විසඳුනේ නෑ කියලා. ඒ ගොල්ලන්ගේ ප්‍රශ්නේ මොකක්ද රට කඩන එකනේ. ඒකට කිසිම ඉඩක් නෑ. ඊළමක් ගැන කතා කරන අය එක්ක සාකච්ඡා නෑ.”

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ජිනීවා නුවර රැස්වෙද්දී අධිනීතිඥ සාලිය පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් අතුරුදහන් වුවන් සොයාගැනීම සඳහා පිහිටුවන ලද OMP කාර්යාලයට සාමාජිකයන් පත් කළ ජනාධිපතිවරයා බීබීසී ය හා ප්‍රකාශ කළ පරිදි දෙමළ ඥාතීන් සොයන ආගිය අතක් නැතියවුන් ජීවතුන් අතර නැත.

“හැම කෙනෙක්ම දන්නවා මේ අතුරුදහන් වෙච්ච අය නෑයි කියලා,” යි ප්‍රකාශ කළ ජනාධිපතිවරයා උද්ඝෝෂණ “බිස්නස් එකක්” ලෙසින් හෙලා දුටුවේය.

මව්වරුන්ගේ කම්පාව

අතුරුදහන් තම දියණිය සොයන වව්නියාවේ මාතාවක් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් මහත් කම්පාවට පත්ව  කියා සිටියේ දින හාරසියයකට අධික කාලයක් තමන් මහමග සටන් වදින්නේ කාගේවත් ඉගැන්නුම් බහකට නොව ජීවිකාවන් පවා අහිමි කරගෙන බවයි.

“කිසිම සංවිධානයක හරි, ඩයස්පෝරාවේ හරි සල්ලි ගන්න අපිට ආසාවක් නෑ.  අපේ අත්වලින් බාර දීපු දරුවන් පණ පිටින් ආපහු ගෙදර එන්න ඕනේ කියලයි අපි උද්ඝෝෂණය කරන්නේ,” යි කාසිපිල්ලේ ජයවනිතා ගගන හා ප්‍රකාශ කළාය.

ඇය තරයේ කියා සිටියේ අතුරුදහන් වූවන් ජීවතුන් අතර නැතැයි ජනාධිපතිවරයා කරන ප්‍රකාශය අසත්‍යයක් බවයි.

අතුරුදහන් කර ඇති ඇගේ දියණියගේ ඡායාරූපයක් ඉකුත් ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් බෙදාහරින ලද ප්‍රචාරක පත්‍රිකාවකට යොදාගෙන තිබුනි.

“පණපිටින් බාර දුන්නු දරුවන් නෑ කියලා හිත පාරවන කතානම් කියන්නම එපා,” යි ජයවනිතා මාතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියාය.

දේශපාලන සිරකරුවන් නෑ

කිසිදු දේශපාලන සිරකරුවකු ශ්‍රී ලංකාවේ නැති බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බීබීසීයට කළ තවත් ප්‍රකාශයකි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා නීතිවේදීන් උපුටා දක්වන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම මානව හිමිකම් වාර්තාව පවසන පරිදි රට තුල රඳවාගෙන සිටින  දේශපාලන සිරකරුවන් ගණන 130 ඉක්මවයි.

දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානය සමග පවසා ඇත්තේ ලන්ඩනයේදී කී කතාවට වෙනස් අදහසකි.

“එතුමා දේශපාලන සිරකරුවන් කියන වචනේ පාවිච්චි නොකළත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිරගත කරලා ඉන්න හැමදෙනාම නිදහස් කරන්න ඕනේ කියන එක තමන්ගේ ස්ථාවරය කියලා සුමාන දෙකකට ඉහතදී මම ටෙලිෆෝන් එකෙන් කතා කළාම කිව්වා,” යි එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා 26 බ්‍රහස්පතින්දා යාපනයේදී මාධ්‍යවේදීන් සමග කියා සිටියේය.

ඔවුන් නිදහස් කිරීමට ඇති බාධා ලෙසින් ජනාධිපතිවරයා දැක්වූ කරුනු පිළිගත නොහැකි බව දෙමළ මන්ත්‍රීවරයාගේ අදහසයි.

සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන්  ශ්‍රී ලංකාවේ රජය ප්‍රමාණවත් ප්‍රගතියක් අත් කරගෙන නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිළිගැනීමයි.

2015 සැප්තැම්බරයේ ගිවිසගත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට පසුගිය වසරේ තවත් අවුරුදු දෙකක කාලයක් ලබා දී තිබුනත් ලබන මාර්තුව වන විටවත් එම වගකීම ඉටු කිරීමේ හැකියාව පිළිබඳව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයෙන් පළව ඇත්තේ බලවත් සැකයකි.

හමුදාව වාඩිලාගත් ඉඩම් ආපසු පැවරීම, අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සහ අපරාධකරුවන් දඬුවම් නොලබා ගැලවී යාම පසුගියදා ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් මණ්ඩල සමුළුවේදී  මහ කොමසාරිස් වරයා ගේ විශේෂ අවධානය යොමු වී තිබුනි.

Related posts

Comments are closed.

Top