හිදැස: සම්මුති ආණ්ඩුවේ අනාගතය, විපක්ෂ නායක ධුරය සහ විග්නේෂ්වරන්ගේ අලුත් සන්ධානය

දෙමළ ජාතික සන්ධානයට හිමිව ඇති විපක්ෂ නායක ධූරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙසින් වූ ඔවුන්ගේ බල කිරීම සිංහල පුවත්පත් තුළ ප්‍රධාන ප්‍රවෘත්තියක් වුවත්, එය දමිළ පුවත්පත් තුළ හිමිකොටගෙන තිබුණේ අවම අවධානයකි. මීට සමාන ලෙසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් යෝජනා වී ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයද ලබාගෙන තිබුණේ සීමාසහිත දමිළ පුවත්පත් ආවරණයකි. මෙම පුවත පිළිබඳව මත දැක්වීම් කළ උදයන් කතුවැකිය මගින් දෙමළ ජාතික සන්ධානයට බල කොට තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ උත්සාහයට සහාය ලබාදෙන ලෙසටයි. එසේ වුවත් පෙනෙනා සැටියට මහින්ද රාජපක්ෂ නැවත බලයට ගෙන ඒමට ඉඩ සැලසීම සඳහා ඒකාබද්ධ විපක්ෂය මගින් මේ ව්‍යවස්ථා සංශෝධනයට ලබා දෙන සහාය, මෙම විශ්ලේෂණය සඳහා සාධකයක් වී නැති සෙයකි.

කාටුනය: තිනකුරල්

සමගි රජයේ අනාගතය දමිළ පුවත්පත් ඇසින්

ජනපති විසින් පාර්ලිමේන්තුව කල් තැබීම සිංහල පුවත්පත් හරහා තියුණු විවේචනයක් ලැබීමට සමත් වූ අතර, දමිළ පුවත්පත් තුළ එම පියවර ඒ හා සමාන සෘණාත්මක ආවරණයක් ලබාගැනීමට සමත් නොවිනි. සැබවින්ම තිනකුරල් කතුවැකිය මගින් ජනපතිගේ තීරණය දක්වා තිබුණේ, සමගි රජය මුහුණ පා ඇති ආතතිය සහ ගැටළු අවම කිරීමට ගත් පියවරක් ලෙසිනි. පාර්ලිමේන්තුව කල් තැබීම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් ලෙසින් දක්වමින් සිංහල පුවත්පත් තුළ දැක්වුණු අර්ථ නිරූපණයට හේතු වූ ජනතා විමුක්ති පෙරමුණේ සහ ඒකාබද්ධ විපක්ෂයේ හඬ, දමිළ පුවත්පත් තුළ විශාල වශයෙන් අතුරුදහන්ව තිබිණි.

පාර්ලිමේන්තුව කල් තැබීම සහ එහි ප්‍රතිවිපාකයන්ට වඩා, දමිළ පුවත්පත් තුළ වූ අවධානය සමගි රජයේ අනාගතය කෙරෙහි යොමුව තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, විශ්වාස භංග යෝජනාවට පක්ෂව සිය ඡන්දය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනා ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න දමිළ පුවත්පත් මගින් විස්තීර්ණව වාර්තා කොට තිබුණත්, ජාතික විගණන පනත ප්‍රමාද වීම සහ විධායක ජනපති ධූරය අහෝසි කරන ලෙසට යෝජනා කරමින් ඉදිරිපත් වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙ‍ටුම්පත සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ වාර්තා නොවූ තරමි.

නියමිත කාලයෙන් ඉතිරි වසර දෙකක කාලයේදී සමගි රජයට දිගින් දිගටම බලයේ ‍රැඳී සිටීමට හැකිද යන ගැටළුව සම්බන්ධයෙන් වන දමිළ පුවත්පත් මතය බෙදී ගොස් තිබේ. එනමුත්, මෙම රජය එම කාල සීමාව තුළ බලයේ ‍රැඳී සිටියහොත් ඔවුන් දමිළ ජනතාවට ලබාදුන් ප්‍රතිඥා ඉ‍ටු කරනු ඇතිදැයි යන ගැටළුව සම්බන්ධයෙන් වැඩි වශයෙන් දක්නට ලැබුණු දෘෂ්ටිය සෘණාත්මක විණි.

විග්නේශ්වරන්ගේ නව දේශපාලන සන්ධානය

උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් විසින් මෙම සතියේදී ප්‍රසිද්ධියේම අඟවා සිටියේ මීලඟ පළාත් සභා මැතිවරණය සඳහා ඔහු තරග කළ හැකි බවටයි. තවදුරටත් ඔහු විසින් ඉඟි කොට සිටියේ, දෙමළ ජාතික සන්ධානය ඔහුට ඉඩක් ලබාදීම සැක සහිත බැවින් නව දේශපාලන සන්ධානයක් දියත් කිරීමේ හැකියාවක්ද පැවතීම පිළිබඳවයි.

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව, මහ ඇමැතිවරයා විසින් නායකත්වය සපයන පුළුල් සන්ධානයකට බාධා පැමිණවිය හැකි අභියෝග පිළිබඳව දමිළ පුවත්පත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්නට යෙදිනි.

වීරකේසරී ලිපියක් මගින් නිරීක්ෂණය කරන්නට යෙදුණේ, මෙවැනි සන්ධානයක් සඳහා වඩාත් ඉහළ ශක්‍යතාවයක් ඇති දේශපාලන පක්ෂ දෙක වන ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (EPRLF) එකිනෙකා දකින්නේ දේශපාලන පසමිතුරන් ලෙසින් බවයි. මෑතකදී පැවති පළාත් පාලන මැතිවරණයේදී උතුර සහ නැගෙනහිර පුරා මෙම පක්ෂ දෙක ආසන්න වශයෙන් සමාන ඡන්ද ප්‍රමාණයන් ලබාගෙන තිබුණු අතර, එක් පක්ෂයක් හෝ බහුතරය ලබා නොගත් පළාත් පාලන ආයතනයන්හි නායකත්වයට පත් කිරීම් සම්බන්ධයෙන් දියත් කළ දේශපාලනික උපාය උපක්‍රම තුළදී මෙම පක්ෂ දෙක එකිනෙකා කපා හෙළන්නටද කටයුතු කර තිබිණි. තවදුරටත් දක්වන්නේ නම් විග්නේශ්වරන් විසින් විශේෂයෙන්ම සඳහන් කොට තිබුණේ, නෛතික සමූහයක් ලෙසින් ලියාපදිංචි වී හෝ නොමැති අඩමාන සන්ධානයක් වන දෙමළ ජාතික සන්ධානයට වෙනස් ලෙසින් වූ, වඩාත් දැඩි විනයක් දැකිය හැකි සංස්ථාපිත සන්ධානයක් සම්බන්ධයෙනි. එනමුත් දමිළ මත දක්වන්නන් විසින් තරයේම කියා සිටියේ, විශේෂයෙන්ම තමන් මැතිවරණ සාර්ථකත්වයක් භුක්ති විඳිමින් හිඳිනා පසුබිමක සිට මෙම පක්ෂ දෙකින් එකක් හෝ තම පක්ෂ ලාංඡන හුවමාරුවක් ලෙසින් අත් හැරීමට සහ ඒ නයින් තමන්ගේ තනි තනි අනන්‍යතාවයන් උවදුරේ හෙළා ගැනීමට කැමති නොවනු ඇති බවයි. අවසාන වශයෙන් විග්නේෂ්වරන්ගේ ඉන්දීය-හිතමිතුරු ස්ථාවරයද මෙහිදී බාධකයක් ලෙසින් දැක්වී තිබුණේ, පොන්නම්බලම් විසින් වැඩි වැඩියෙන් ඉන්දීය-විරෝධී ස්වරයක් යොදාගනිමින් සිටිනා බැවිනි.

මෙවැනි පසුතලයක් තුළ දමිළ පුවත්පත් කතුවැකි මගින් නිරීක්ෂණය කොට තිබුණේ, ඉදිරියේදී පැමිණෙන පළාත් සභා මැතිවරණ සඳහා ඇතැම් විට එකිනෙකාට වෙනස් දමිළ ජාතිකවාදී දේශපාලන සංස්ථාපිතයන් හතරක් වැනි ගණනක් තරග කරනු ඇති බවටත්, එහි නොවැළැක්විය හැකි ප්‍රතිඵලයක් ලෙසින් දකුණේ දේශපාලන පක්ෂ ශක්තිමත් වීම සහ දකුණේ දේශපාලන පක්ෂ මගින් උතුරු පළාතේ වඩාත් දැඩිව පය ගැසීමට ඉඩක් අත්පත් කර ගැනීමත් සිදුවිය හැකි බවයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top