යුද ඉලක්කය වුනේ ‘ජනයාගේ දෛනික සාමූහික ජීවිතය විනාශ කිරීම’

Lokeesan

ශ්‍රී ලංකා රජය සැළසුම් සහගත ජන සංහාරයකට සුදානම් වුණේ එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර සහන සේවා සහ නිරීක්ෂණ සංවිධාන යුද කලාපයෙන් පිටමන් කිරිමෙන් අනතුරුව යැයි යුද සමයේ වන්නි භුමියේ සිටි අවසන් මාධ්‍යවේදීන් අතලොස්සෙන් මෙතාක් ප්‍රසිද්ධියට පත් නොවූ වාර්තාකරුවකු පවසයි.

ස්වාධීන මාධ්‍යවේදීන්ටද උතුරට යාමේ ඉඩ අවුරා තිබූ සමයක යුද්ධයෙන් විනාශ වන ජන ජීවිත පිලිබඳ සවිස්තර තොරතුරු දිවි නොතකා බාහිර ලෝකයට වාර්තාකිරීමේ  නිර්භීත කාරියේ නිරත වූ ටැමිල්නෙට් වෙබ් අඩවියේ ප්‍රධාන වාර්තාකාර අප්පුතුරෛ ලෝකීසන් රටින් පිටවීමෙන් පසු ලබාදුන් මුල්ම සම්මුඛ සාකච්ඡාව එක්සත් ජාතීන් වන්නියෙන් පිටවීමෙන් හත් වසරක් ගතවන දිනයේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) විසින් පළ කොට තිබේ.

‘සාමාන්‍ය ජනයාගේ දෛනික සාමූහික ජීවිතය විනාශ කිරීමේ,’ ඉලක්කය ඇතුව ශ්‍රී ලංකාවේ රජය යුද්ධය සැලසුම් කළ බව ඔහුගේ අත්දැකීමයි.

උන්හිටි තැන් අහිමිව කිලිනොච්චියේ සිටි ලක්ෂ එකහමාරකට අධික ජනකායක් ඉලක්ක කරමින් හමුදාව පළමු ෂෙල් ප්‍රහාරය එල්ල කිරිමත් සමගම ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයෙන් ජාත්‍යන්තර සහන සේවා නියෝජිතයන් වන්නියෙන් පිටමන් වු බව කියා සිටින ලෝකීසන්, තමන් හුදෙකලා කොට වන්නියෙන් පිටමන්ව නොයන්නැයි යුද පීඩිතයන් ජාත්‍යන්තර සහන සේවා නියෝජිතයින් වෙත ආයාචනා කළ බවත් අවධාරණය කරයි.

සහන සේවා සංවිධාන ඉවත්ව යාමට  පටන් ගැනිමත් සමගම ලංකාවේ හමුදාව සමුල සංහාරයකට පසුබිම සකසන බව යුද අනාථයන්ට වැටහුනු බවත්, මසක් ඇතුළත යළි පැමිණ සියල්ලන්ගේ ආරක්ෂාව සහතික කරන බවට ඉටු නොකළ පොරොන්දුවක් එම සංවිධාන විසින් ලබා දුන් බවත් කියා සිටින ලෝකීසන්, ඔවුන් යුද සමයේ නොඑන්නටම පිටව ගියේ දස දහස් ගණනක් මිනිසුන්ගේ මරණ සහතික ලිවීමට අවස්ථාව සළසමින් බව ද පෙන්වා දෙයි.

විශේෂ දෙයක් නොවේ

යුද බිමේ සිය වාර්තාකරණය පිළිබඳව ටැමිල්නෙට් මාධ්‍යවේදියා නිහතමානී වෙයි.

‘මම කරපු කාර්යය, වන්නියේ වෙනත් මාධ්‍යකරුවෙකු කරපු කාර්යයට වඩා විශේෂ කැපවීම් සහගත එකක් නෙවෙයි,’ අප්පුතුරෛ ලෝකීසන් JDS වෙත පවසා තිබේ. “එකම වෙනස වුණේ වන්නියේ සිදුවන සංහාරය ගැන මගේ වාර්තාවලින් බාහිර ලෝකයට දැනුම්දීමට මට තිබුණු හැකියාව විතරයි.”

සාමාන්‍ය ජන ජීවිත වලටත්, දේපලවලටත් සිදුවන විනාශය  පිලිබඳව  පුර්ව සැලසුමකින්, දැනුවත්කමකින් සහ අනුමත කිරීමකින් යුතුව රජයත් හමුදා නායකත්වයත් සිටින්නට ඇතැ’යි පවසන  ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෙළි කරන එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාව, එය ජාත්‍යන්තර මානවීය නීතිය උල්ලංඝනය කිරීමක් බවට තීරණය කර තිබේ.

 

Related posts

Comments are closed.

Top