ආරක්ෂක අංශ ඉහළ නැංවීමට ජනපතිගෙන් රාජ්‍ය මාධ්‍ය වලට නියෝගයක්

ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ වල සාමාජිකයන් හට ගෞරවය ලබා දෙන ආකාරයෙන් මාධ්‍ය මෙහෙයවන ලෙස ජනාධිපතිවරයා  රාජ්‍ය මාධ්‍ය වලට ප්‍රසිද්ධියේ උපදෙස් දී තිබේ.

“මා රාජ්‍ය මාධ්‍ය ආයතනවලට පැහැදිලිවම කියනවා රණවිරුවාට දිය හැකි ගෞරවය සහ සැබෑ රණවිරුවා ජීවිතය පරිත්‍යාග කරමින් කළ කැපකිරීම් පිළිබඳව කිසිවිටකත් අමතක නොකරමින් ජනතාවට ඒ මතකය අවදි කරමින් ඔවුන්ට ලබා දිය යුතු ගෞරවය සැමවිටම ලබා දෙන්න කියා,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ඒ බව ප‍්‍රකාශ කළේ  සති අන්තයේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස පැවති ජාතික රණවිරු සැමරුම් දින උත්සවය අමතමිනි.

 යුද හමුදා සෙබළුන් වෙනුවෙන් රජය කරනු ලැබූ සේවාවන් පිළිබඳව  රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන කතා නොකිරීම පිළිබඳවත් එහිදී ජනාධිපතිවරයා සිය  කනගාටුව ප්‍රකාශ කර තිබුණි.

“මම ඉතා පැහැදිලිව කිව යුතුයි, අපේ රජය බලයට පත්වෙන්න කලින් තිබුණේ රණවිරු සතියක්. මේ මැයි මාසය අපේ රජය විසින් අමාත්‍ය මණ්ඩලය විසින් රණවිරු මාසයක් බවට පත් කරනු ලැබුවා. මේ රණවිරු මාසය තුළම රණවිරුවාගේ ගුණ සිහිපත් කරමින් ගෞරව කරමින් එම වැඩසටහන ශක්තිමත් කරමින් පින් පමුණුවමින් විවිධ කටයුතු රාශියක් මේ මාසය තුළම සිදු වුණා. සිදු වෙනවා.”‍

ආරක්ෂක සේවාවල සාමාජිකයන්ට තිබෙන්නාවූ අභියෝගවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා  එල්ල වූ යෝජනාවලදි ඇතැම් මාධ්‍ය සහ “අන්තවාදී සංවිධාන” වැරදි ලෙස කොතෙක් විග‍්‍රහ කළත් ආරක්ෂක හමුදාවන්ට මානව හිමිකම් කොමසාරිස්වරයාගේ යෝජනා තුළත් යුද අපරාධ කිසිසේත් නොමැති බව පැහැදිලිවම තමා කියා සිටින බව ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් අවධාරණය කර තිබේ.

“ඇතැම් අය සඳහන් කරනවා යුද අපරාධ තිබෙනවා කියා. කිසිසේත් නැහැ. එවැනි යුද අපරාධ සම්බන්ධයෙන් කතා කරන්නේ මුහුදින් එගොඩ සිටින රජයට විරුද්ධ ආරක්ෂක හමුදාවට විරුද්ධ අන්තවාදි අදහස් දරන එල්.ටී.ටී.ඊ. ට සම්බන්ධ අය”.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් යුද්ධයේදී කරන ලද  බවට චෝදනා කෙරෙන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් විභාග කිරීමට ජිනීවාහිදී  රජය 2015 දී එකඟ වී තිබේ. 

එහිදී මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධ චෝදනා විමර්ශනය සඳහා විශේෂ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 30/ 1 යෝජනාවෙන් මෛත්‍රිපාල සිරිසේන – රනිල් වික්‍රමසිංහ සම්මුති රජය කර ඇති යෝජනාව ඒකමතිකව සම්මත විය.

Related posts

Comments are closed.

Top