තබ්බෝව ගොවි ජනපදයට අලින්ගෙන් පීඩා | VIDEO

පවතින අධික වර්ෂා තත්වයත් සමග තබ්බෝව ගොවි ජනපදයට අයත් බුද්ධි දසුන්ගම ඇතුළු ගම්මාන රැසකට මේ දිනවල කඩා වදින වන අලි රංචුවක් සිය වගා බිම් මුළුමනින්ම විනාශ කර දමන බවට ප්‍රදේශවාසි ගොවි ජනතාව මැසිවිලි නගති.

1967 වර්ෂයේ ආරම්භ කරන ලද පුත්තලම තබ්බෝව ගොවි ජනපදයේ ජීවත් වන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය   කෘෂිකර්මාන්තයයි.

මීට අමතරව මෙම ජනපදයේ වැසියන් පොල් සහ අතුරුභෝග වගා සිදුකරන අතර, තවත්  පිරිසක් ධීවර කර්මාන්තය වැනි සුළු රැකියාවලද  යෙදී සිටිති.

මෙම ගොවි ජනපදයේ ආරම්භයේ සිටම මේ දක්වා ජීවත් වන වැසියන් මුහුණ දී ඇති ප්‍රධානතම ගැටළුව බවට පත්ව ඇත්තේ වන අලියන් ගම්වැදීමයි.

මෙම වල් අලි ගම් වැදීම හේතුවෙන් බුද්ධිදසුන්ගම, තේවනුවර, පාවට්ටාමඩුව, නෙලිවැව, මහකෝන්වැව, මයිලන්කුලම  ගොවි ගම්මානවල වැසියන් බහුලව මෙම අලි මිනිස් ගැටුමට මුහුණ දෙන බව ඔවුහු පවසති.

ඒ අනුව තබ්බෝව ගොවි ජනපදයට අයත් බුද්ධිදසුන්ගම, නෙල්ලි වැව, මහකොන්වැව, පාවට්ටාමඩුව, තේවනුවර, ප්‍රදීපාගම, මයිලන්කුලම යන ගම්මාන රැසක ජනතාව වන අලි ගම්වැදීම හේතුවෙන් මහත් පීඩාවට පත්ව සිටී.

අලි ගම්වැදීම හේතුවෙන් තම වගාබිම් වලට  සිදුකරනු ලබන  අලාභ හානිය දරාගත නොහැකිව දිව රෑ අධික ලෙස මානුෂිය මෙන්ම ශාරීරික වශයෙන් පීඩාවට පත්ව ඇති බවට ඔවුන් වන ජීවි නිලධාරින්ට මැසිවිලි නගති.

 

මේ දිනවල සම්පූර්ණයෙන්ම වී ගොවිතැන් කටයුතු වලින් බැහැරව ඇති  නමුත් තමන් අතුරු වගාවක් ලෙස සිදුකරගෙන යනු ලබන පොල් වගාවට වල් අලි නිරන්තරයෙන් විනකටින බව ඔවුහු පෙන්වා දෙති.

මේ වන විට පොල් අක්කර 20ක් පමණ දිනෙන් දින විනාශයට ලක් කරන මේ වල් අලි ඊට අමතරව අඹ, කොස්, කෙසෙල්  වැනි ශාක කොටස් ආහාරයට ගැනීමටද දැඩි ප්‍රියතාවයක් දක්වන බව ගම්වාසීන් පෙන්වා දෙයි.

විල්පත්තුව ජාතික වනෝද්‍යානය සහ තබ්බෝව අභය භූමිය ඔස්සේ පැමිණෙන මෙම වල් අලි රංචුවේ වල් අලීන් 50න් යුත් කණ්ඩායමක් සිටින බව ජනතාව වැඩි දුරටත් පෙන්වා දෙති.

තම වගා බිම් හා නිවාස වෙත සවස් කාලයේ කඩා වදින වල් අලි රංචු සිය ගම්මාන වෙත ඇදී ඒමට බලපා ඇති ප්‍රධාන සාධකය වී ඇත්තේ ඉදිකර ඇති අලි වැටේ විදුලිය නොමැතිව අදාළ අලි වැට අක්‍රීව වී තිබීම නිසාවෙන් බවට ගම්වාසීන් චෝදනා කරයි.

එය නැවත ප්‍රතිසංස්කරණය හෝ අළුත් වැඩියා කර දෙන ලෙස  බලධාරීන්ට කිහිප වතාවක්ම ඉල්ලීම් කළ ද, එයට නිසි ප්‍රතිචාර ලැබී නැත.

පුත්තලම ප්‍රියංකර කළුපහන

Related posts

Comments are closed.

Top