“සිංහල නායකයන්ට ධෛර්යය නෑ” සම්බන්ධන් ඇමරිකාවට කියයි | VIDEO

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ පොරොන්දුව ඉටු කිරීමට ධෛර්යයක් නැති බවට විපක්ෂ නායකයා ඉහල පෙලේ එක්සත් ජනපද ආරක්ෂක දූත මණ්ඩලයක් හමුවේ ජනපති, අගමැති ප්‍රමුඛ සිංහල දේශපාලන නායකත්වයට දොස් පවරා තිබේ.

එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තු සහ සන්නද්ධ සේනා වියදම් සම්බන්ධයෙන් වගකියන සර්ව පාක්ෂික නියෝජිත පිරිසක් හමුවේ විපක්ෂ නායකයා පවසා ඇත්තේ අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව ජනාධිපති සහ අගමැති දෙදෙනා එක්ව සිංහල ජනතාව හමුවේ “අවංකව පැහැදිළි කළ යුතු”  බවයි.

“මේ රට යන අත ගැන අපි ඉන්නේ අසන්තෝෂයෙන්,” යයි දෙමළ ජාතික සන්ධානයේ නායකයාද වන ආර් සම්බන්ධන් දිවයිනේ නිල සංචාරයක් සඳහා පැමිණ සිටින එක්සත් ජනපද සන්නද්ධ සේවා කමිටුවේ දූත මණ්ඩලයට කොළඹදී පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්ථිරසාර විසඳුමක් ලබා දීමට එකඟ බව ඔහු අවධාරණය කර තිබෙන ඔහු අලුත් ව්‍යවස්ථාවට විරුද්ධ සිංහල ජාතිකවාදී විපක්ෂයද හෙලා දැක තිබේ.

“අඩුවකට ඇත්තේ සිංහල නායකයන් අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාව සහ එයින් ලැබෙන පලප්‍රයෝජන ජනතාව ඉදිරියට ගොස් සවිස්තරව පැහැදිලි කර නොදීමයි. ඇතැම් සිංහල නායකයන් උත්සාහ කරන්නේ රටේ සියලු ජනතාවට සමාන ලෙස නොසලකා අන්තවාදීන් සැනසීමටයි.”

සිංහල දේශපාලන නායකයන් දිගටම මේ මාර්ගයේ ගියහොත් ඉතිහාසය පුනරුච්චාරණය වීම නොවැලක්විය හැකි බවට විපක්ෂ නායක ආර් සම්බන්ධන් එක්සත් ජනපද දූත මණ්ඩලය හමුවේ අනතුරු අඟවා තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදාව පුහුණු කිරීම සඳහා එක්සත් ජනපදය ලබා දෙන සහාය කොංග්‍රස් සභික මැකලන් තෝන්බරිගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද සන්නද්ධ සේවා කමිටුවේ දූත මණ්ඩලය හමුවේ  ජනාධිපතිවරයාගේ ප්‍රශංසාවට ලක්වී තිබේ.

මෑතදී නිකුත් වූ වාර්තාවක දැක්වෙන පරිදි මේ රජය බලයට පත්වූ පසු එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර හමුදා සබඳතා සීග්‍රයෙන් ඉහල ගොස් තිබේ.

වොෂින්ටන් මුලස්ථාන කොටගත් ලංකාවේ සමානාත්මතාව සහ සහන සඳහා ජනතාව (PEARL) විසින් පලකොට ඇති “ශ්‍රී ලංකාවේ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාදාමයේ දෝෂය” නම් වාර්තාව පෙන්වා දෙන පරිදි යුද, ගුවන් හා නාවික හමුදා පුහුණු කිරීම් ඇතුළු යුද ගනුදෙනු සිදුවී ඇති වාර ගණන 44 කි.

අනාගත පුහුණු වීම් වලදී තාක්ෂණික ඥානය වැඩියෙන් ලබාදෙන ලෙස ඉල්ලා ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, “තාක්ෂණය නැතිව නවීන ලෝකයේ ආරක්ෂාවක් නෑ,” යි කියා සිටි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ව්‍යවස්ථා සම්පාදනය සම්බන්ධයෙන් එම හමුවේදී සාකච්ඡා වීදැයි දැනගන්නට නැත.

එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල දුත මණ්ඩලය අරලිය ගහ මන්දිරයේදී අගමැතිවරයා හමුවී ඇතත්, සාකච්ඡා කළ දේ ගැන ජනමාධ්‍ය වෙත කිසිත් දැනුම් දී නැත.

ශ්‍රී ලංකාවේ නිල සංචාරය නිම කොට සිංගප්පුරුවේ ෂැන්ග්‍රීලා හෝටලයේ පැවැත්වෙන දකුණු ආසියා ආරක්ෂක සමුළුවට (IISS) සහභාගි වීමට යාමට පළමු එක්සත් ජනපද ආරක්ෂක දූත මණ්ඩලය චීන මුදලින් ඉදිවන කොළඹ පෝට් සිටි ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකද යෙදී තිබේ.

 

Related posts

Comments are closed.

Top