මන්නාරම සතොස සමූහ මිනීවලින් තවත් ඇටකටු මතුවේ | VIDEO

පස්වැනි දිනටත් කණිනු ලැබූ  මන්නාරම සතොස තොග ගබඩා භූමියෙන් අලුතින් මිනිස් අස්ථි කොටස් හමුවී තිබේ.

වැලි බහුල පසින් යුත් භුමියෙන් මන්නාරම ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රමුඛ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිවරුන්ගේ විශේෂ  කණ්ඩායමක් විසින් පාදා ගන්නා ලද අස්ථි කොටස් අතර දත් සහිත හකු පාඩා සහ මිනිස් අත් ලෙස හඳුනාගත හැකි ශේෂ දැකගන්නට ලැබුනු බව ප්‍රාදේශීය මාධ්‍යවේදීහු පවසති.

විධිමත් ලෙස විමර්ශන කටයුතු ආරම්භ කිරීමට පෙර බැකෝ යන්ත්‍ර  මගින්  භූමිය හෑරීමේ දී ඇටකටු වලට හානි සිදුවී ඇති හෙයින් පරීක්ෂණ කටයුතු අසීරු වී ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව් ආර් ඒ එස් රාජපක්ෂ ගගන කළ විමසීමකදී කියා සිටියේය.

මැදවච්චිය මන්නාරම මහා මාර්ගය පසෙක ඇති සතොස භූමියේ නව ඉදිකිරීම් කටයුතු ආරම්භ කරද්දී මුලින්ම මිනිස්‌ ඇටසැකිළි කොටස් හමුවූයේ මැයි 16 දාය.

දිසා විනිසුරු එම් එම් ඇලෙක්ස් රාජා විසින් මැයි 28 දා කරන ලද මූලික පරීක්ෂණයකින් අනතුරුව කැනීම් ආරම්භ කරන ලදී.

පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ප්‍රධානී මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රමුඛ කණ්ඩායමක් විසින් සමූහ මිනී වලේ කාල නිර්ණය සිදු කිරීමට නියමිත අතර රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද පරීක්ෂණවලට එක්ව සිටී.

මන්නාරම සතොස සමූහ මිනී වලේ කැනීම් කටයුතු ජූනි 4 සඳුදා නැවත ආරම්භ කරන තුරු පොලිස් මුරකාවල් යෙදීමට මන්නාරම දිසා විනිසුරු ඇලෙක්ස්රාජා නියෝග කර සිටියේය.

Related posts

Comments are closed.

Top