දරුකමට රට යැවූ හාරදාහක් ඕලන්දයේ | VIDEO

ආර්ථික අපහසුතා හේතුවෙන් පිටරටට හදා වඩා ගැනීමට දුන් දරුවන් අතරින් හාරදහසක් පමණ ඕලන්දයේ ඉන්නා බව හෙළිවී තිබේ.

රුවන්වැල්ලේ මවකගෙන් ඉපිද   නෙදර්ලන්තයේ හැදී වැඩුන සඳමාලී හෙවත් සන ෆන් රොසන් විසින් ඒ දරුවන් සහ මව්වරුන් නැවත මුණ ගැස්වීම සඳහා  වැඩ සටහනක් ශ්‍රී ලංකාවේදී ආරම්භ කර ඇත.

ඒ වෙනුවෙන් ඇය පිටරටට දරුවන් දුන් අම්මාවරුන් සමග කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී  හමුවක් පවත්වා ඇති අතර තම දරුවන් පිටරටට දුන් අම්මාවරුන් ඇතොත් ඒ පිළිබඳව දන්වන ලෙස ඉල්ලමින් කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අත් පත්‍රිකා බෙදා දීමක්ද සිදු කර තිබුනාය.

“අසූ ගණන් වල ඉඳලා ශ්‍රී ලංකාවෙන් ඕලන්දයට ගෙනයන ලද දරුවන් ගණන හාරදාහක් පමණ වෙනවා,” යි සන ෆන් රොසන් පවසන්නීය.

“ඒක ළමයි විශාල ගණනක්. ඒ වගේම විශාල පිරිසක් තමන්ගේ මුල් පවුල් ගැන විස්තර හොයනවා.”

එක්‍ රැස් කරගන්නා තොරතුරු  යොදාගෙන  දරුවන් සහ ලේ මාපියවරුන් නැවත එක් කිරීමට මග සලසන දත්ත ගබඩාවක් ඕලන්ද රජයේ ආධාරයෙන් පිහිටුවාගැනීම ඇගේ අපේක්ෂාවයි.

“මේ තොරතුරු එකතු කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒවා ඕලන්ද ආණ්ඩුවට දීලා DNA දත්ත ගබඩාවක් හදන්න මුදල් ලබාගන්න. DNAබැංකුවකට විශාල මුදලක් වැය වෙනවා. ඉතින් අපි හිතනවා මේ අම්මලාගේ කතා කියවලා මුදල් දෙන්න පෙළඹේවි කියලා.

දුරකතන අංකයක්

ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 0774289289 අංකය අමතන ලෙස සන ෆන් රොසන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ ළදරුවන් දසදහස් ගණනක් හොර රහසේ විදේශ වලට අලෙවි කිරීමේ ජාවාරමක් පවත්වාගෙන යන ලද බව රජය විසින් පසුගිය වසරේ  පිළිගෙන තිබුනි.

1980 ගණන්වලදී උපත ලැබූ බිලිඳුන් එකොලොස් දහසක් පමණ දරුකමට හදාවඩා ගැනීම සඳහා වංචනික ලෙස යුරෝපා රටවලට අලෙවි කිරීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත මාධ්‍ය ජාලයක් කළ හෙලිදරව්වකින් පසුව විමර්ශනයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු සුදානම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය වසරේදී සඳහන් කර තිබුනි.

Related posts

Comments are closed.

Top