ලංකාවේ රාමසාන් හැමට පොදු උත්සවයක්: අගමැති

රාමසාන්  උත්සව සමය  ලංකාවේ දී  ඉස්ලාම් ආගම අදහන අයට පමණක් සීමා වී නොමැති බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

ලංකාවේ සියලූම දෙනාට වැදගත් උත්සවයක් ලෙස රාමසාන් උත්සවය හදුන්වාදෙන අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ අද ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආගමික උත්සව කාලයක් ලෙස රාමසාන් සමය හැදින්විය හැකි බවයි.

ඔහු ඒ බව පවසා ඇත්තේ අරලියගහ මන්දිරයේ පැවති රාමසාන් ඉෆ්තාර් උත්සවයට  ජුනි 5 අගහරුවාදා සහභාගී වෙමිනි.

“විවිධ ජාතීන් විවිධ ජන වර්ග ජීවත් වන රටක් ලෙස අප සියලූ දෙනාටම ගරු කළ යුතුයි. ඒ සියලූම ජන කණ්ඩායම්වලට තම තමන්ගේ සංස්කෘතිය බුක්ති විඳීමේ අයිතින් ලබා දිය යුතුයි” අගමැති රනිල් වික්‍රමසිංහ එහිදී පවසා තිබේ.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයක් ලෙස  මේ රටේ විවිධ ආගම් විවිධ ජන කොට්ඨාශ එකතු කර ගනිමින් ශ්‍රී ලාංකික රාමුව තුළ  එය සමරන අතර එසේ නොමැතිනම් විවිධ ප්‍රශ්න ඇති වන බවත්  ලංකාවෙත් එවැනි ගැටළු ඇති වු බව අගමැතිවරයා සදහන් කරයි.

තෙල්දෙණිය “අවාසනාවක්”

“අවාසනාවකට පසුගිය මාර්තු මාසයේ තෙල්දෙණියේ එවැනි ගැටළුකාරී තත්ත්වයක් මතු වුණා. ජීවිත කිහිපයක් විනාශ වුණා. කෙටි කාලයක් හෝ ඒ ප්‍රදේශයේ නීතිය සාමය කඩා වැටීම පිළිබඳව ආණ්ඩුව කනගාටුව පළ කරනවා. නමුත් එය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට අපි සීඝ්‍රයෙන් පියවර ගත්තා. නැවතත් නීතිය හා සාමය ඇති කළා”

“ෆේස්බුක් තහනම් කරමින් අවශ්‍ය කටයුතු පාලනය කළා. මේ වන විට කිහිපදෙනෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තවත් කිහිපදෙනෙක් ඇප මත නිදහස් කර තිබෙනවා. නීතියට අනුව ඒ සම්බන්ධව ඉදිරි වැඩකටයුතු සිදු කරනවා. ඒ වගේම එම ගැටළු සම්බන්ධව විවිධ පරීක්‍ෂණ ගණනාවක් මේ වනවිට අවසන් කර තිබෙනවා. ඒවායේ ලිපිගොනු 100 ට වැඩි ප්‍රමාණයක් නඩු පැවරීම සඳහා නීතිපති තුමාට යවා තිබෙනවා. ගැටළුවක් ඇති වූ අවස්ථාවක නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම හරහා එම ගැටළු නැවත ඇතිවීම වළක්වා ගත හැකියි” අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කර ඇත.

Related posts

Comments are closed.

Top