එපාවූ OMP කාර්යාලයට ගම්මන්පිලගේ පක්ෂයෙන් පැමිණිල්ලක් | VIDEO

“රණවිරුවන් දඩයම් කිරීමක්” ලෙස හෙලා දකිනු ලැබූ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට උදය ගම්මන්පිල මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමය පක්ෂය පැමිණිල්ලක් කර තිබේ.

එම පක්ෂයේ තරුණ අංශය විසින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් සොයා දෙන ලෙස ඉල්ලා සිටිමිනි.

මහබැංකු බැඳුම්කර වංචාවට වගකිව යුත්තකු ලෙස අත් අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබෙන හිටපු මහබැංකු අධිපති මහේන්ද්‍රන් “ අතුරුදහන් වීම” සම්බන්ධයෙන් අගමැතිවරයා ද සැක කෙරෙන බව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට (OMP) කළ පැමිණිල්ලේ සඳහන් කොට ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

“මේ ට්‍රිලියනයක වංචාවත් එක්ක අතුරුදහන් වුනාද, එහෙම නැතිනම් කිසියම් පුද්ගලයකුගේ හෝ කිසියම් කණ්ඩායමක අවශ්‍යතාව මත එතුමාව අතුරුදහන් කළාද කියන සැකය අපිට තියෙනවා,” යි පැමිණිලිකාර සුගීශ්වර බණ්ඩාර කාර්යාලයෙන් පිටතදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

හිටපු මහබැංකු අධිපති සොයාගැනීම “ප්‍රමුඛතම කාර්යයක් සේ සලකා විධිමත් පරීක්ෂණයක් පවත්වන” බවට OMP කොමසාරිස්වරයකු සහතික වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

පැහැරගෙන යාමේ වින්දිතයන් වශයෙන් අතුරුදහන් වූ තැනැත්තන්, ක්‍රියාන්විතයේ දී අතුරුදහන් වූ තැනැත්තන් ඇතුළුව සටන්වල දී හෝ අන්‍යාකාරයකින් සන්නද්ධ ගැටුම්වලට අදාලව අතුරුදහන් වූ තැනැත්තන්, දේශපාලන නොසන්සුන්තා සහ සිවිල් කැරළි කෝලාහලවල දී අතුරුදහන් වූ තැනැත්තන් ඇතුළු අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා OMP කාර්යාලය පත් කර තිබේ.

එහෙත්, සුගීශ්වර බණ්ඩාර ප්‍රකාශ කළේ “යුද සමයේ සහ පශ්චාත් යුද සමයේ අතුරුදහන් වුවායැයි කියන්නන් පිළිබඳව සොයාබැලීම” OMP වගකීම බවයි.

ඔහුගේ නායක උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා OMP කාර්යාලය පිහිටුවීමට දැඩි විරෝධයක් දක්වමින් පවසන්නේ එය යුද සමයේත් ඉන් පසුවත් කළ බවට චෝදනා ලබන මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක සේනා “දඩයම් කිරීමක්” බවයි.

“එබැවින් මෙවැනි පනතකට සහය දිය හැක්කේ තමන්ගේ ජීවිත අවදානමකට ලක් කර අපේ ජීවිත බේරා ගත් රණවිරුවන් පාවා දීමට මනස සකසා ගත හැකි ගුණමකුවන්ට පමණි,” යි ඔහු OMP පනත ට විරුද්ධව ලියා තිබුනි.

පැමිණිලි විභාග කිරීමෙන් හෙළි කරගන්නා අපරාධ කරුවන්ට දඬුවම් කිරීමේ බලයක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට නොමැති බව එහි සභාපති සාලිය පීරිස් පසුගියදා මුලතිව්හිදීත් අවධාරණය කර තිබුනි.

Related posts

Comments are closed.

Top