ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට එකඟ වන්නැයි එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවට කියයි

යුද අපරාධ සම්බන්ධ ජාත්‍යන්තර යුක්ති විනිශ්චය ක්‍රියාදාමයට ඇතුලත් වීම සඳහා එකඟතාව පල කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

විදේශ අමාත්‍යවරයාට ලියන ලිපියක් මගින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් වරයා ඉල්ලා ඇත්තේ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය පිළිගන්නා ලෙසයි.

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ පාර්ශවකරුවකු වීමට අවශ්‍ය රෝම ප්‍රඥප්තිය අපරානුමත කරන්නැයි මහ කොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් විසින් ලියන ලද ලිපියේ සඳහන් වෙයි.

එම ප්‍රඥප්තිය දේශීය වශයෙන් පිළිගන්නා රටවල් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ පවරනු ලබන නඩු විභාග වල අනිවාර්ය පාර්ශවකරුවන් වෙයි.

“අතුරුදහන් වුවන්ගේ පවුල්ද ඇතුළු අයට සත්‍යය, යුක්තිය, හානි පූරණය, අනුස්මරණය සහ නැවත සිදු නොවීම සහතික කිරීම මෙන්ම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පවතින දණ්ඩ මුක්තියට එරෙහිව සටන් වැදීම ද” අරමුණු කොටගත් ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කරන ලෙසද මහකොමසාරිස් වරයා නැවතත් සිහිපත් කර ඇත.

මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් පියවර ගැනීමට ශ්‍රී ලංකාවේ රජයද එකඟවූ ක්ෂේත්‍ර ගණනාවක් කෙරේ මහ කොමසාරිස් වරයා විසින් ලියන ලද ලිපිය මගින් විදේශ අමාතවරයාගේ අවධානය යොමු කර ඇත.

“ඒ ක්ෂේත්‍ර හඳුනා ගැනීමේදී, රටවල් 88ක් විසින් කරන ලද නිර්දේශ සහ/ හෝ ප්‍රකාශන, ශ්‍රී ලංකා රජයේ ඉදිරිපත් කිරීම් සහ ප්‍රතිචාර මෙන්ම රජය විසින් ක්‍රියාත්මක කරන බවට විශ්ව වාරික සමාලෝචනයේ දෙවැනි චක්‍රයේදී  එකඟ වූ නිර්දේශ 113 ක්, මා විසින් සලකා බලන ලදී,” යි මහ කොමසාරිස් සෙයිඩ් ලියා තිබේ.

සිවිල් හා දේශපාන අයිතිය, ආර්ථික සමාජ හා සංස්කෘතික අයිතිය, ආබාධිතයන්ගේ අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, මුල් ස්වදේශිකයන්ගේ අයිතිය හා ගෘහස්ත මෙහෙකරුවන්ගේ අයිතිය ඇතුළු මානව හිමිකම් ආරක්ෂා කරන ජාත්‍යන්තර සම්මුති ගණනාවක් සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල නීති සම්මත කරගන්නා ලෙසද ශ්‍රී ලංකාවේ රජයෙන් ඉල්ලා ඇත.

ව්‍යවස්ථා සම්පාදනය

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියක් දියත් කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහය ප්‍රශංසාවට ලක් කර ඇති මහ කොමසාරිස්වරයා එහිදී සැලකිල්ලට ගතයුතු මූලධර්ම කිහිපයක්ද ලිපියේ අවධාරණය කරයි.

“එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකදී, සමානතාව හා වෙනස් කොට නොතැකීම, බලය වෙන් කිරීම, තුලන හා සංවරණ සහ අධිකරණයේ ස්වාධීනත්වය යන මූලික සිද්ධාන්ත ඇතුලත් කිරීම සැලකිල්ලට ගන්නා ලෙස මම උදක්ම ඉල්ලා සිටිමි.”

ජාතික මානව හිමිකම් ආයතනවල ජගත් සන්ධානය (GANHRI) විසින් මෑතදී A ශ්‍රේණිය ප්‍රදානය කරමින් ඉහලින්ම පිළිගන්නා ලද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ ස්වාධීනත්වය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසද මහ කොමසාරිස්වරයා ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

එහිදී ජාත්‍යන්තර ප්‍රමිතියට ඔබින ලෙස කොමිසමට අවශ්‍ය මානව, තාක්ෂණික හා මුල්‍ය සම්පත් නොඅඩුව ලබා දිය යුතු බව පවසා ඇත.

ග්ලයිෆොසේට් තහනම

සංවර්ධනය සහ පරිසරයට අදාලව මානව හිමිකම් රැකීම සම්බන්ධයෙන් සඳහන් කරන මහ කොමසාරිස්වරයා සියලුම ක්ෂේත්‍රවල ග්ලයිෆොසේට් භාවිතය තහනම් කරන ලෙස නිර්දේශ කර තිබේ.

පාපොච්චාරණ ලබාගැනීම සඳහා වධහිංසා පමුණුවන නීතිය ක්‍රියාත්මක කිරීම බාර නිලධාරීන්ට දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සිටින ලිපිය දෙමළ මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබේ.

“දෙමළ මාධ්‍යවේදීන් ඇතුළු මාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයන්ට  අඩන්තේට්ටම් කිරීම සහ හිතුමතේ රඳවා තබා ගැනීම නවතා දමන්නට පියවර ගෙන අතීත උල්ලංඝන සම්බන්ධ විමර්ශන වල ප්‍රතිපල දැනුම් දෙන්න,” යි මහ කොමසාරිස් සෙයිඩ් ඉල්ලා සිටී.

රජයට ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී සාර්ථක ප්‍රතිපල උදා කරගැනීම සඳහා සඳහා එක් කරගත යුතු දේශීය හා ජාත්‍යන්තර  හවුල්කරුවන් පිළිබඳවද මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා තම ලිපියේ සඳහන් කරයි.

“විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම සහ වින්දිතයන්ගේ සංවිධාන ඇතුළු සිවිල් සංවිධාන සහ අවශ්‍ය අවස්ථාවලදී, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකගේ නායකත්වය යටතේ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය සහ වෙනත් එජා ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන වල ආධාරයද,” ලබා ගත යුතු බව මහ කොමසාරිස් සෙයිඩ් අවධාරණය කර ඇත.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි කිරීම ඇතුළු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරි කාලය තුල ක්‍රියාත්මක කළ යුතු තවත් නිර්දේශ ගණනාවක් ද විදේශ අමාත්‍ය මාරපන වෙත යවා ඇති ලිපියේ සඳහන් වෙයි.

එම පනත යටතේ මේ වනවිට අත් අඩංගුවේ රඳවා ගෙන සිටින සියලුදෙනා නිදහස් කරන ලෙසද මහකොමසාරිස් සෙයිඩ් ඉල්ලා තිබේ.

Related posts

Comments are closed.

Top