ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ “සිංහල ඔල්මාදකාරයන්ගේ බලයයි” බාහු | VIDEO

යුද පීඩිතයන්ට යුක්තිය ඉටු කිරීම හෝ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදු කිරීම හෝ නොවන්නේ සිංහල අන්තවාදී බලවේගවලට ජනාධිපතිවරයා යට වීම නිසා යැයි වර්තමාන ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුනු වාමාංශික නායකයෙක් පවසයි.

ඝාතන, අතුරුදහන් කිරීම් ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවා දඬුවම් කිරීමට පියවර නොගන්නේ “සිංහල ඔල්මාදකරුවන්ගේ” බලය අද රට පුරා ක්‍රියාත්මක වන නිසා යයි නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ප්‍රකාශ කළේ අතුරුදහන් වුවන් සොයාගැනීමේ කමිටුව විසින් කොළඹ පවත්වන ලද සම්මන්ත්‍රනයක දෙසුම පවත්වමිනි.

එම ඔල්මාදය ජනාධිපතිවරයාටත් වැළඳී ඇතැයි කියා සිටි ආචාර්ය බාහු “සිංහල ඔල්මාදය නැති කිරීම සඳහා, සමාජය සෝදා දැමීම සඳහා කතිකාවක් ඇතිකිරීමේ අවශ්‍යතාවක්” ඇතැයි ප්‍රකාශ කළේය.

තමා අගමැතිවරයාට සහාය දක්වන්නේ එම සිංහල බලවේග වලට මුහුණ දීම සඳහා යැයි ප්‍රකාශ කළ සමසමාජ නායකයා ජාතිවාදය “භයානක එකක්” ලෙස හෙලා දකිමින් තමන් ඊට විරුද්ධව අගමැතිවරයාට දක්වන සහාය යුක්ති සහගත කළේ මහ බැංකු බැඳුම්කර වංචාව  “තුට්ටු දෙකේ පොඩි වැඩක්” ලෙස හඳුන්වමිනි.

අතුරුදහන් වුවන් සොයාගැනීමේ කමිටුවේ කැඳවුම්කරු සුන්දරම් මහේන්ද්‍රන්ගේ ප්‍රධානත්වයෙන් මරදානේ සමාජ හා සාමයික කේන්ද්‍රයේ පැවති සමුළුව ජාතික සාම මණ්ඩලයේ ප්‍රධානී ආචාර්ය ජෙහාන් පෙරේරා සහ සිවිල් සමාජ ක්‍රියාධර ගාමිණි වියන්ගොඩ විසින් ද අමතන ලදී.

Related posts

Comments are closed.

Top