පාසල් ක්‍රීඩකයන් අතරත් තහනම් උත්තේජක: ක්‍රීඩා ඇමැති

ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදෙස්ගත වීමේදී තහනම් උත්තේජක මර්දක නියෝජිතායතනයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය අනිවාර්ය කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව පළාත්  සභා, පළාත්  පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

අමාත්‍ය  ෆයිසර් මුස්තාපා ඒ  බව සඳහන් කර ඇත්තේ ජුනි 8 සිකුරාදා  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

ක්‍රීඩාව මෙන් ම රටේ කීර්ති නාමය ඉතා වැදගත් වන බව පෙන්වා දී ඇති අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ  මෙලෙස තහනම් උත්තේජක මර්දක නියෝජිතායතනයේ සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය අනිවාර්යය කිරිමට කටයුතු කරන බවත් ඒ සඳහා එම ආයතනය වෙත අවශ්‍ය නීතිමය බලය ලබාදිය යුතු බවත්ය.

අන්තර්ජාතික මට්ටමෙන් මෙන් ම පාසල් මට්ටමින් තහනම් උත්තේජක භාවිත කිරීම සිදුවන බැවින් ඒ හරහා ගමට මෙන් ම රටට සිදුවන ප්‍රශ්න පිළිබඳ ව තව තවත් ගමට රටට තොරතුරු ගෙන යා යුතු බවත් මෙය අති විශාල ගැටලුවක් බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දී ඇත.

ඉදිරියේ දී තහනම් උත්තේජක භාවිතය පිළිබඳ ව පාසල් විෂය මාලාවන් වෙත ඇතුළත් කිරීම සඳහා වන සාකච්ඡා අධ්‍යාපන අමාත්‍යංශය හා එකාබද්ධව ක්‍රියාත්මක කොට ඇති අතර ඉදිරි පාසල් විෂය මාලා සංශෝධනයකදී එය සිදුකිරීමට බලාපොරොත්තු වන බව  ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිතායතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සීවලී ජයවික්‍රම  සඳහන් කරයි.

මේ වන විට තරුණ සේවා සභාව සමඟ කළ සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස ජාතික යොවුන් සේනාංක හරහා තරුණ ප්‍රජාව දැනුම්වත් කිරීමේ කටයුතු ආරම්භ කොට ඇතැයි ද පෙන්වාදී ඇති  සභාපතිවරයා මෙම ආයතනය ආරම්භ කොට වසර 5ක් සම්පූර්ණ වන නොවැම්බර් මාසයේ දී තවත් විවිධ වැඩසටහන් හඳුන්වාදීමට කටයුතු කරන බවත්  වැඩිදුරටත් සදහන් කර තිබේ.

ප්‍රවෘත්ති සාකච්ඡාවට  එක්වෙමින් එම ආයතනයේ සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා  පෙන්වා දී ඇත්තේ  ඉදිරියේ දී තහනම් උත්තේජක භාවිතය පිළිබඳ කරනු ලබන පරීක්ෂණ කටයුතු සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මුත්‍ර සාම්පලයන් වෙනුවට රුධිර සාම්පල ලබාගැනීමට කටයුතු කරන බවත් රුධිර සාම්පාලයන් හරහා වැඩි පරීක්ෂණ රැසක් කරගැනීමට අවස්ථාව සැලසෙන බවත්ය.

තහනම් උත්තේජක භාවිතය සම්බන්ධයෙන් සෑම ක්‍රීඩාවක්ම නොව ඒ සඳහා වැඩි නැඹුරුවක් ඇති ක්‍රීඩාවන් කෙරෙහි වැඩි සැලකිල්ලක් මෙන් ම කණ්ඩායමේ සියලු දෙනා තෝරාගත් පිරිසක් පරීක්ෂණ කටයුතු සඳහා යොදාගන්නා බවත් මෙම පරීක්ෂණ කටයුතු සඳහා අති විශාල මුදලක් වැය වන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Related posts

Comments are closed.

Top