හිදැස: හවුල් ආණ්ඩුවේ දුර්දසාව සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක පත් කිරීම

පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කථානායකවරයකු පත් කිරීම දමිළ මෙන්ම සිංහල පුවත්පත් තුළද එකම ප්‍රමාණයක අවධානයක් අත්පත් කොටගෙන තිබිණි. සිංහල පුවත්පත් තුළ මෙන්ම දමිළ පුවත්පත් තුළද අවධානයට ලක්ව තිබූ ගැටළුව වූයේ සමගි රජයේ කොටස්කරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති බල අරගලයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තරයේ ප්‍රතිසංවිධාන ගැටළු සහ ටී.එන්.එල්. සම්ප්‍රේෂණාගාරයක් සීල් තැබීම සම්බන්ධයෙන් සිංහල පුවත්පත් තුළ වඩාත් ප්‍රමුඛ අවධානයක් ලැබී තිබුණු අතර, දමිළ පුවත්පත් තුළ එම කරුණු ආවරණය වී තිබුණේ සීමාසහිතවය.

පොරොන්දු ඉටුකිරීම හා පක්ෂය රැකීම

දමිළ පුවත්පත් තුළ වූ විවිධ මත දැක්වීම් මගින් සමගි රජයට ගැටළු මතුකරනා සත්‍ය කාරණා පිළිබඳව විවිධ රෝග නිර්ණයන් සිදුකර තිබිණි.

එක් දෘෂ්ටි කෝණයකට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති භේදය මගින්, සමගි රජය හා බැඳී ඇති විශ්වාසයක් නොමැති වීමේ ගැටළුවේ එක් පාර්ශවයක් පමණක් නිර්මාණය කරයි. රජය කෙරෙහි ඇති මහජන අවිශ්වාසයට දායකත්වය සපයන වඩාත් වැදගත් කරුණක් වන්නේ, රජය තමන්ගේ ප්‍රතිඥා ඉෂ්ට කිරීමට අසමත් වීමයි.

තවත් දෘෂ්ටියකින් යෝජනා කොට සිටි ආකාරයට සමගි රජය වර්තමානයේ මුහුණ දී ඇති දුර්දසාවට පාර කපමින් එහි ඉදිරි ගමන වැළැක්වීමට හේතු වූයේ, සමගි රජයේ සිටින්නවුන් තම තමන්ගේ පක්ෂයන්ට ඇති පක්ෂපාතීත්වයයි. සමගි රජයේ හවුල්කරුවන් අතර වූ ආතතිය දියුණු තියුණු වීම කරුණු දෙකක් පෙරදැරි කරගනිමින් සිදුවූ බව දැක්වුණි. එනම් 1) මෑතදී සිදුවූ නියෝජ්‍ය කථානායකවරයාගේ පත් කිරීම සහ 2) එක් එක් පක්ෂය විසින් අනෙක් පක්ෂය පිළිබඳව දැක්වූ අදහස් සහ විවේචනයන් වේ.

එසේ වුවත් තවත් දෘෂ්ටියක් මගින් අදහසක් ලෙසින් ඉදිරිපත් කොට තිබුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් අතර සහ ඒ තුළ වන විවිධ කල්ලි අතර ක්‍රමයෙන් වැඩිවන අසමගිය හේතුවෙන් තවමත් එක්සත් ජාතික පක්ෂයට තමන් මෙම තත්වයෙන් ගලවා ගැනීමට ඉඩ ඇති බවයි.

සමස්තයක් ලෙසින් ගත් විට පුවත් වාර්තාකරණයන් තුළ මෙම රජය අත්දකිනා දුෂ්කරතාවයන්ගේ මූලය සම්බන්ධයෙන් එකඟතාවයක් දක්නට නොලැබුණි.

නියෝජ්‍ය කතානායක පත් කිරීම

පාර්ලිමේන්තුවට නියෝජ්‍ය කථානායක පත් කිරීම පසුගිය සතිය පුරාවටම දමිළ පුවත්පත් තුළ පුළුල් වශයෙන් ආවරණය වී සහ විශ්ලේෂණය කෙරී තිබිණි. මෙම කතිකාව පුරාම දක්නට ලැබුණු මූලික තේමාවක් වූයේ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඇති බල අරගලයයි. මෙහිදී ප්‍රමුඛ වශයෙන් දක්නට ලැබුණු මතය වූයේ නියෝජ්‍ය කථානායකවරයකු පත් කර ගැනීම, සමගි රජයේ හවුල්කරුවන් අතර වූ සංකීර්ණතාවයන්ගෙන් පිරී ගිය ගැටළුවක් බවයි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් තවත් මතයක් මගින් සඳහන් කරන්නට යෙදුණේ, මේ සඳහා වූ රහස් ඡන්දය බල අරගලයක් හෝ කේන්ද්‍රගත දේශපාලන සිදුවීමක් නොවන බවයි.

සිංහල පුවත්පත් මෙන් නොව දමිළ පුවත්පත් මගින් ඒකාබද්ධ විපක්ෂය තුළ වූ හබ කරගැනීම් මතු කොට දක්වා නොතිබුණි. කෙසේ වුවත් සිංහල පුවත්පත් වලට සමාන ලෙසකින් දමිළ පුවත්පත් මගින්ද සඳහන් කරන්නට යෙදුණේ, නියෝජ්‍ය කථානායක ධූරය සඳහා තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම හරහා එක්සත් ජාතික පක්ෂය විසින්, මෙම තනතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයකු විසින් පුරවනු ඇති බවට ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගින් ඇතිකරගෙන තිබූ පෙර එකඟතාවය උල්ලංඝනය කොට ඇති බවයි.

එසේම විපක්ෂ නායක ආර්.සම්බන්ධන් විසින් මෙහිදී දරා සිටි ස්ථාවරය සම්බන්ධ දෘෂ්ටීන්ද දමිළ පුවත්පත් මගින් සිය පුවත් ආවරණයට ඇතුළත් කොට තිබුණත් සිංහල පුවත්පත් තුළ එය දක්නට නොලැබුණි. ඇතැම් පුවත්පත් මතයන් මගින් සඳහන් කරන්නට යෙදුණේ, ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයාට සහාය ලබාදෙන ලෙසින් ආර්.සම්බන්ධන් විසින් කළ ඉල්ලීම පසුපස ඇත්තේ, නියෝජ්‍ය කථානායක ධූරය කුමන පක්ෂය මගින් ඉදිරිපත් කළ යුතුද යන්න පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමගින් තිබූ එකඟතාවය එක්සත් ජාතික පක්ෂය විසින් බිඳ දැමීම බවයි. තවත් ලියුම්කරුවන් විසින් පෙන්වා දෙනු ලැබුවේ දෙමළ ජාතික සන්ධානය මගින් උක්ත නිවේදනය සිදුකරන්නට යෙදුණත් අවසානයේදී ඔවුන් රහස් ඡන්දයට සහභාගි නොවූ බවයි. මෙසේ ඔවුන් ආණ්ඩු කරනා සන්ධානය සමගින් මෙන්ම ඒකාබද්ධ විපක්ෂය සමගින්ද තම විශ්වාසය සුරක්ෂිත කොට තිබුණි. මෙසේ හෙයින් දමිළ පුවත්පත් තුළ වූ යම් යම් කොටස් මගින් දෙමළ ජාතික සන්ධානයේ මෙම තීරණය දැක තිබුණේ අවස්ථාවාදී තීරණයක් ලෙසිනි.

Related posts

Comments are closed.

Top