“දෙමළ ස්වයංතීරණ අයිතිය පිළිගන්න” උතුරේ මහ ඇමැති ජනපතිගෙන් ඉල්ලයි | VIDEO

දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් රටේ රාජ්‍ය නායකයා හමුවේ ඉදිරිපත් කරන උතුරේ මහ ඇමැතිවරයා ස්වයංතීරණයේ අයිතිය පිළිගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවති “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුවේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගෙන් එම ඉල්ලීම කළ මහ ඇමැතිවරයා දැනට වෙන්ව පවතින පළාත් වලට සිය කැමැත්ත පරිදි ඒකාබද්ධ වීමේ අයිතිය ලබා දෙන ලෙසත් යෝජනා කළේය.

“උතුරු නැගෙනහිර  ජීවත්වන දෙමළ කතා කරන ජනතාවට එක්සත් ලංකාවක් තුල ස්වයංතීරණයට ඇති අයිතිය, තමන් ගැන තමන්ම තීරණය ගෙන පාලනය කිරීමේ අයිතිය ඔබතුමා පිළිගන්න ඕනේ,” යි මහ ඇමැති සී වී විග්නේස්වරන් කියා සිටියේය.

“ළඟදී අපේ නායකතුමා හමු වූ වෙලාවේ මෙම අවුරුද්ද තුලදී විසඳුමක් ලබා ගත හැකි බව ඔබ තුමා දැනුම් දුන්  බව අපට දැනගන්න ලැබුනා. ඒ නිසා විසඳුමක් ලැබෙයි කියා අපි විශ්වාස කරනවා.  ඒ පියවර නිසා ඔබතුමාට දේශපාලන වශයෙන් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවුනොත් පළාත් නමයටම ස්වයංපාලනයේ අයිතිය ලබා දෙන්න. අවශ්‍ය උනොත්, පළාත් වලට එක්වීමේ අයිතියත් ලබා දෙන්න.”

සුළු ජන කොටස් අතර ගැටුම් ඇති කිරීම සඳහා රජය ‘යටිකූට්ටු’ වැඩපිළිවෙලක් ගෙනයන බවට අනතුරු ඇඟවූ මහ ඇමැති විග්නේස්වරන්  එය වහාම අත්හිටුවා හින්දු ඉස්ලාම් ආගම්වලට අයත් සහෝදර ජනතාවට එකමුතුව ජීවත් වීමට අවස්ථාව සලසා දෙන ලෙස ආයාචනය කර සිටියේය.

යුද පීඩිත දරුවන්

සමුළුව ආරම්භයේම “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ අරමුණු පැහැදිලි කරමින් කතාකළ ජනාධිපතිවරයා කියා සිටියේ යුද්ධයක් පවතින ඕනෑම රටක වැඩියෙන්ම පීඩාවට පත්වන්නේ දරුවන් බවයි.

“එහිදී දරුවන්ට තමන්ගේ දෙමව්පියන් අහිමි වෙනවා. දරුවන් බලාගන්න වගකිවයුත්තෙක් නැතිවෙනවා. ඒ ඉතාමත් වේදනීය වූ කටුක අත්දැකීම අපි හැමකෙනකුටම තියෙනවා, අපි දන්නවා ඒක,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළේය.

පාසල හා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන වලදී දරුවන් හිරිහැරයට ලක්වන බව පිළිගත් ජනාධිපතිවරයා නිවසේදීත් ළමුන්ට සිදුවන අතවර ගැන කම්පාවට පත්විය.

යුද පීඩිත දරුවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන අවධානය සම්බන්ධයෙන් කෘතඥතාව පලකළ උතුරේ මහ ඇමැතිවරයා අවධාරණය කළේ තම දෙමාපියන් හා ඥාතීන් මෙන්ම දෑත් දෙපා ද අහිමිව ඉන්නා ළමයින්ගේ සියලුම අවශ්‍යතා සපුරා ලීම රජයේ වගකීම බවයි.

කොටි සාමාජිකයන්ට වන්දි

යුද්ධයෙන් පීඩාවට පත් හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට වන්දි මුදලක් ප්‍රදානය කිරීම සඳහා නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපනය, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු භාර අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් විසින් ගෙන එන ලද යෝජනාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත නොකිරීම ගැන ඔහු කනගාටුව පල කළේය.

එම යෝජනාවට චම්පික රණවක ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් විරෝධය පලකළ බව රජය දැනුම් දී තිබුනි.

“අපේ ජනතාවගේ අවශ්‍යතා ලැයිස්තුව දිගයි,” යනුවෙන් සඳහන් කළ මහ ඇමැති විග්නේස්වරන් කියා සිටියේ  ඒ වෙනුවෙන් මැදිහත් වන පුද්ගලයන් වෙනුවෙන් කළගුණ සැලකීමට දෙමළ ජනතාව මැලි නොවන බවයි.

“දෙමළ ජනතාව තමන්ට කරපු උදව් කරපු අය කවුරු උනත් අමතක කරන්නේ නෑ. ඒ අය මල් මාල දාලා පිළිගෙන ගෞරව කරන්නත් ඉදිරිපත් වෙනවා. ඒත්, ඒ වැඩකටයුතු පිටුපස දේශපාලන උවමනාවක් තිබේනම්, ඒක හඳුනාගැනීමටත් ඒකට නිසි පිළිතුරු දීමටත් පසුබට වන්නේ නෑ.”

යුද හමුදාව වාඩිලා ගත් පුද්ගලික ඉඩම් වල වාඩි ලා ගැනීම, ආරක්ෂක අංශ වලට භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු අතුරුදහන් වුවන්ගේ ඉරණම හෙළි කරගැනීම සහ දකුණේ ධීවරයන් උතුරේ සාගර සම්පත කොල්ල කෑම වැනි ගැටළු දිගින් දිගටම සිහිපත් කර දුන්නත් ඊට විසඳුම් ලබා නොදීම නොසලකා හැර ඇති බවට මහ ඇමැතිවරයා ජනාධිපතිවරයාට මැසිවිල්ලක්ද ඉදිරිපත් කළේය.

“මීට අමතරව හුඟක් දේවල් ඔබතුමාගේ අවධානයට ගෙනාවත් ඔබතුමා ඒවා ගැන නොසලකා හැරීම ගැන කනගාටුයි. නොසලකා හැරියා කියන එක හරිද කියා දන්නේ නෑ. ඔබතුමා කාර්ය බහුල නිසා අමතක වෙලාද දන්නේ නෑ. අමතක වීම දිගින් දිගටම වීම එක තමයි ප්‍රශ්නේ. ඔබතුමා මොන තරම් කාර්ය බහුල උනත් අපේ ප්‍රශ්න ඔබතුමාට දැනුම් දීම අපේ වගකීමයි.”

යාපනය, කිලිනොච්චි හා මුලතිව් දිස්ති‍්‍රක්කවල යුද හමුදාව වාඩිලාගෙන සිටි ඉඩම් අක්කර 120.89 ක් නැවත එම ජනතාව වෙත නිදහස් කිරීම ද “දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කිලිනොච්චි දිස්ති‍්‍රක් සමුළුවේදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරුනු බව ප්‍රකාශ කෙරුනි.

“ඊට අදාළ ලියකියවිලි ජනාධිපතිතුමා අතින් අදාළ දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත භාරදුන් අතර ඒ අනුව යාපනය දිස්ති‍්‍රක්කයේ ඉඩම් අක්කර 62.95 ක්, කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ අක්කර 05.94 ක්, මුලතිව් දිස්ති‍්‍රක්කයේ ඉඩම් අක්කර 52 ක් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.” යි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Related posts

Comments are closed.

Top