උතුරේත් දකුණේත් මාධ්‍යවේදීන්ට බලවතුන්ගෙන් තර්ජන | VIDEO

මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා අප්‍රේල් මාසයේ මඩකලපුවේ පැවති උද්ඝෝෂණයක්රාජකාරියේ යෙදෙන මාධ්‍යවේදීන්ට සහ මානව හිමිකම් ක්‍රියාධාරීන්ට එරෙහිව උතුරේත්, දකුණේත් රජයේ, ආගමික හා පෞද්ගලික ක්ෂේත්‍ර වල බලවතුන් කරන අඩන්තේට්ටම් ඉහළ යමින්  පවතී.

තර්ජන එල්ලවී ඇත්තේ හමුදා නිලධාරීන්ගෙන්, පොලිසියෙන්, බෞද්ධ භික්ෂුන්ගෙන් සහ බැංකු නිලධාරීන්ගෙනි.

මෑතදීම මාධ්‍ය සංගම් නායකයකු හිරිහැරයට ලක් කොට ඇත්තේ හේතු නොදන්වා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවීමෙනි.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ අම්පාර ඒකකයේ ස්ථානාධිපති විසින් මඩකලපුවේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති බාලක්‍රිෂ්ණන් ක්‍රිෂ්ණකුමාර්ට දැනුම් දී ඇත්තේ ජූනි 22 දා කොළඹ පොලිස් මුලස්ථානයේ දෙවැනි මහලට පැමිණෙන ලෙසයි.

මඩකලපුවේ දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය පවසන පරිදි තම සභාපති වන නිදහස් මාධ්‍යවේදී ක්‍රිෂ්ණකුමාර්, ඝාතනය හා අතුරුදහන් කරනු ලැබූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලා උද්ඝෝෂණ සංවිධානය කළ අයෙකි.

ඔහු ඒ සම්බන්ධයෙන් මෙන්ම රජයේ ආයතන වල නිලධාරීන්ට එරෙහිව එල්ලවන දුෂණ වංචා චෝදනා සම්බන්ධයෙන් ද වාර්තා කර තිබේ.

භික්ෂු තර්ජන

ජගත් සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාධාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩට බැනවැදී තර්ජනය කළ  බොදුබලසේනානායක ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට දඬුවම් පැමිණවීම වාර්තා කිරීමට ගිය විකල්ප වෙබ් අඩවියේ ඉෂාරා ධනසේකර ඇතුළු මාධ්‍යවේදීන්ට හෝමාගම උසාවියෙන් පිටතදී  භික්ෂුන් පිරිසක් විසින් තර්ජනය කරනු වීඩියෝ ගතවී තිබේ.

වාර්තාකරණයේ යෙදී සිටියදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් පිටතදී ජුනි 14 දා ඥාණසාරගේ පැවිදි  ආධාරකරුවන් විසින් තමන්ට තර්ජනය කර අඩන්තේට්ටම් කරන ලද බව විකල්ප සම කතුවරිය විසින් සමාජ මාධ්‍ය ජාල වලට නිකුත් කරන ලද පණිවිඩයක දැක්වේ.

තර්ජනය කළ භික්ෂුවක් ජංගම දුරකතනයකින් රූගත කෙරෙනු දැක්වෙන කෙටි වීඩියෝවක්ද එහි ඇතුලත් කර තිබේ.

ඥාණසාර හිමි බන්ධනාගාර බස් රථයට රැගෙන ඒම ඡායාරූප ගත කිරීමට සුදානම්ව සිටි අවස්ථාවේ තර්ජනය එල්ල වූ බව මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු ගගන හා කියා සිටියේය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ තමන් ඇතුළු මානව හිමිකම් ක්‍රියාධාරීන් කිහිප දෙනකුටද එම ස්ථානයේ දී භික්ෂු තර්ජන එල්ල වූ බවයි.

ගිනි පොලී තර්ජන

එදිනම, උතුරේ පැවති ගිනි පොලී ණය විරෝධී උද්ඝෝෂණයක් වාර්තා කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකුට බැංකු නිලධාරියකු මරණීය තර්ජන කර තිබේ.

සියදිවි හානි කර ගැනීම් ගණනාවකට හේතුවී ඇති ක්ෂුද්‍ර ණය කපා හරින ලෙස ඉල්ලා උතුරේ සෑම දිස්ත්‍රික්කයකම ඒ දිනයේ විරෝධතා පැවැත්විනි.

මුලතිව් මාධ්‍යවේදීන්ගේ සංගමය පවසන පරිදි නිදහස් මාධ්‍යවේදී කනපතිපිල්ලේ කුමනන්ට ආර්පිකෝ ශාඛාවේ ප්‍රධානියා තර්ජනය කර ඇත්තේ ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ණය කපා හරින ලෙස ඉල්ලා  මුලතිව් නගරයේ විරෝධතාවක් පැවැත්වූ කාන්තාවන් ආර්පිකෝ මුල්‍ය සමාගමේ නිලධාරීන් විසින් රූගත කරන අයුරු වාර්තා කිරීම නිසාය.

විශ්වමඩු ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකුද වන බැංකු නිලධාරී විශ්වලිංගම් සුරේෂ්ට එරෙහිව මාධ්‍යවේදියා පොලිසියට පැමිණිලි කර ඇත.

ඉකුත් වසරක කාලය තුල ණය ගෙවා ගත නොහැකිව දිවි හානි කරගත් උතුරේ සංඛ්‍යාව අඩුම වශයෙන් 59 දෙනකු බව සිවිල් ක්‍රියාධර ඇන්තනි කැනීෂියස් පවසයි.

මුලතිව් හමුදා තර්ජන 

පසුගිය මාස හය තුල දී යුද හමුදා නිලධාරීන් විසින් අඩුම වශයෙන් මාධ්‍යවේදීන් තුන් දෙනකුට තර්ජනය කර තිබෙන බව මුලතිව් මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

දිස්ත්‍රික්කයේ ගම්මානයක වැසියන්ගේ දුෂ්කරතා වාර්තා කරන්නට ගිය සංගමයේ මුල් පෙලේ  සාමාජිකයකුට යුද හමුදා නිලධාරියකු තර්ජනය කර ඇත.

එම නිදහස් මාධ්‍යවේදියාගේ රාජකාරියට බාධා පැමිණ ඇත්තේ මහජන නියෝජිතයන් තමන් හමුවට නොඑන බවට පැමිණිලි කරන මුත්තයන්කට්ටු ගම්වාසීන් මුණ ගැසීමට ගිය අවස්ථාවේය.

හමුදාව කලක් තිස්සේ අල්ලා ගෙන සිටි කේපාපුලවු ඉඩම් වල නැවත පදිංචි කරන ලද්දවුන් ගේ ජීවන තත්වය වාර්තා කිරීමේ යෙදුනු  ගුණරත්නම් ප්‍රේමරාජ් ට සිවිල් ඇඳුමින් සිටි දෙදෙනකු තර්ජනය කර ඇත.

සිංහලෙන් කතා කළ ඔවුන් යුද හමුදා නිලධාරීන් බව මාධ්‍යවේදියාගේ විශ්වාසයයි.

හිරු වාර්තාකරු ෂන්මුගම් තවසීලන්ට ඉකුත් පෙබරවාරියේදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කරන ලද පැමිණිල්ලකින් අනතුරුව බිය ගැන්වීම් අත් හිටුවන බවට අලම්පිල් හි සිංහ රෙජිමේන්තු බලකා කඳවුරේ අණ දෙන නිලධාරියා සහතික වී තිබුනත් පළාතේ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තවමත් තහවුරු වී නැති බව මුලතිව් මාධ්‍යවේදීන්ගේ සංගමය පවසයි.

දිගින් දිගටම සිදුවන අඩන්තේට්ටම් හෙලා දකිමින් සංගමයේ ලේකම් විශ්වලිංගම් විශ්වචන්ද්‍රන් විසින් නිකුත් කර ඇති නිවේදනයක්, හමුදා නිලධාරීන් මාධ්‍යවේදීන්ගේ රාජකාරියට බාධා කිරීම නවතා ලන්නට කඩිනම් පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටියි.

Related posts

Comments are closed.

Top