යැස්මින් සූකාගේ අතුරුදහන් ලැයිස්තුව ගැන ආණ්ඩුව තවත් විස්තර ඉල්ලයි

ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවීමෙන් හා භාර දීමෙන් අනතුරුව අතුරුදහන් වුවන් සියගණනක නම් සහිතව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් විසින් මාසයකට ඉහතදී එලි දක්වන ලද ලැයිස්තුව සම්බන්ධයෙන් ආණ්ඩුව වැඩිදුර විස්තර ඉල්ලා තිබේ.

මානව හිමිකම් නීතිවේදී යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත්  සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් අතුරුදහන් වුවන්ගේ ඥාතීන් සමග එක්ව යාපනයේ දී එලි දක්වන ලද එම ලේඛනයට ඇතුලත් වූයේ යුද්ධාවසානයෙදී 58 වැනි සේනාංකයට භාර වූ පසු ආගිය අතක් නොමැති අයගේ නම්ය.

ශ්‍රී ලංකාවේ එක දිනකදී අතුරුදහන් වැඩිම පුද්ගල සංඛ්‍යාව සඳහන් ලෙස සැලකෙන එම ලේඛනයේ නම් සඳහන් දෙමළ ළමුන් 29 ක් අතරින් කිහිප දෙනකුම වයස අවුරුදු 5 ට අඩු බව ITJP පවසයි.

ඔවුන්ගේ ඉරණම හෙළි කර ගැනීම සඳහා 58 සේනාංකය භාරව සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ හිටපු යුද හමුදාපති ජනරාල් ජගත් ජයසූරිය ගෙන් ප්‍රශ්න කරන ලෙස යැස්මින් සූකා අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් (OMP) ඉල්ලා තිබුනි.

ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම සඳහා අදාළ රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන්ද ඇතුළු පුද්ගලයන් සම්බන්ධ විස්තර OMP කාර්යාලයට සපයන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය ජුනි 20 නිකුත් කළ නිවේදනයකින් ශ්‍රී ලංකාවේ සහ විදේශගත ආයතන සහ පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටී.

“සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය විසින් ලැයිස්තු ගත කර ඇති පුද්ගලයන්ට සහ ඔවුන් අතුරුදන් වූ වාතාවරණයන්ට අදාල තවත්/වැඩිදුර/ සවිස්තරාත්මක ඕනෑම තොරතුරක්; පනතේ 27 වැනි වගන්තියෙන් නිර්වචනය කොට ඇති ආකාරයට අතුරුදන් වූයේ යැයි සැලකිය හැකි, ආරක්ෂක හමුදා සහ පොලිස් සාමාජිකයන්ද ඇතුළු පුද්ගලයන්ට අදාලව ඕනෑම පුද්ගලයකු/ ආයතනයක් සතුව ඇති වෙනත් ඕනෑම ලැයිස්තුවක්/ තොරතුරක්,” පහත ලිපින වලට සභාපති වරයාට යොමු කරන ලෙස නිවේදනය පවසයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය

ලිපිනය: 34, නාරාහේන්පිට පාර, නාවල, ශ්‍රී ලංකාව

විද්‍යුත් ලිපිනය: ompsrilanka@gmail.com

නම් 280 කින් යුක්තව මැයි 15 දා එළි දක්වමින් අන්තර්ජාලය මගින් ප්‍රසිද්ධ කරන ලද ITJP ලැයිස්තුවේ ඇතුලත් අතුරුදහන් සංඛ්‍යාව ජුනි 20 වනවිට 353 දක්වා ඉහළ ගොස් තිබේ.

අතුරුදහන් වුවන්ගේ දෙස් විදෙස් ඥාතීන් itjpsl@gmail.com ලිපිනයට අලුතින් එවන තොරතුරු එකතු කොට එම වෙබ් අඩවිය යාවත්කාලීන කරන බවව ITJP පවසයි.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ ප්‍රධානතත්වයෙන් යුත් OMP කාර්යාලය මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකම අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවී තොරතුරු රැස් කරගෙන තිබේ.

යුද හමුදාවට භාර දීමෙන් පසු වසර නමයකට වැඩි කාලයක් ආගිය අතක් නැති දෙමළ පිරිස  අතුරුදහන් කරවන ලද අය බව OMP ප්‍රධානියා ඥාතීන් හමුවූ අවස්ථාවකදී පිළිගෙන තිබුනි.

Related posts

Comments are closed.

Top