හිරේ ගිය ඥානසාරට පොදු සමාවක්: ජනපති – මහනාහිමි සාකච්ඡා | VIDEO

ජගත් සම්මානලාභී මානව හිමිකම් ක්‍රියාධාරිනියකට බැනවැදී අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වී හිරගත කරනු ලැබූ බොදුබලසේනානායකයා ට පොදු සමාවක් දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මහනායක හිමිවරුන් සමග සාකච්ඡා පවත්වමින් සිටින බව රජය ප්‍රකාශ කරයි.

අධිකරණයෙන් දඬුවම් පමුණුවනු ලැබූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට පොදු සමාවක් දීමට රජයේ තීරණයක්  නැතිදැයි මාධ්‍යවේදියකු විසින් කරන ලද විමසීමකට කැබිනට් ප්‍රකාශකය රාජිත සේනාරත්න අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ “ඒක ජනාධිපතිවරයා කතා කරනවානේ මහනායක හාමුදුරුවොත් එක්ක,”  යනුවෙනි.

බොදුබල සේනා නායකයාට එවැනි විශේෂයක් දැක්වුවහොත් බරපතල අපරාධ සම්බන්ධයෙන් දැනට සිරගත කර සිටින තවත් භික්ෂුන් 15 දෙනකු ඇතුළු ආගමික පූජකයන්ද තමන්ට එම සැලකිල්ල දක්වන මෙන් ඉල්ලා සිටිනු ඇති බවට අමාත්‍යවරයා අනුමාන කළේය.

හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි හයමසකට සිපිරිගෙට යවනු ලැබුවේ අතුරුදහන් කරන ලද සිය සැමියා ප්‍රගීත් වෙනුවෙන් යුක්තිය ඉල්ලා දස අවුරුද්දක් තිස්සේ සටන් වදින සන්ධ්‍යා එක්නැලිගොඩ ට දෙවසරකට වැඩි කලකට ඉහතදී උසාවි භූමියක් තුලදී තර්ජනය කොට අඩන්තේට්ටම් කිරීමේ වරදටය.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනගැනීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවනාගාරයට රැස්වූ මාධ්‍යවේදීන් කිහිප දෙනකුම ඥාණසාර හිමියන් ගේ ආගමික නිල ඇඳුම වන චීවරය ගලවා  බන්ධනාගාර නිල ඇඳුම වන ජම්පරය අන්දවා තිබීම ගැන  කතාකළේ මහත් කම්පාවෙනි.

අගමැති එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක 1959 දී  ඝාතනය කිරීමේ වරදට  එල්ලුම් ගස් යවනු ලැබූ තල්දුව සෝමාරාම භික්ෂුවට ද චීවරය ඉවත් කරන්නට සිදුවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් නොනැගුනු විරෝධයක් අද මතු කිරීම ප්‍රශ්න කළේය.

“මීට කලින් පලවැනි භික්ෂුන් වහන්සේට කරනකොටයි කතා කරන්න තිබුනේ,” යි ඔහු මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

Related posts

Comments are closed.

Top