හිදැස: ගෝඨාභය ජනාධිපතිවරණයට ඒම, කර්නල් බන්දු සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට වන්දි ලබා දීම

ගෝඨාභය රාජපක්ෂ මීලඟ ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාව සම්බන්ධයෙන් දමිළ සහ සිංහල භාෂා පුවත්පත් විස්තීර්ණ වශයෙන් වාර්තා කොට තිබිණි. මේ ප්‍රස්තුත කොටගනිමින් රාජපක්ෂ පවුල තුළ ඇතිවීමට හැකියාවක් ඇති ගැ‍ටුමක් සම්බන්ධයෙන්ද මෙම ප්‍රවෘත්ති වාර්තා මගින් හැඟවීම් කොට තිබිණි. මේ වනවිට කරුණු කාරණා ඇති ආකාරයට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා, ගෝඨාභය රාජපක්ෂට කැමැත්තෙන්ම සිය ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට හැකිදැයි යන්න වීරකේසරී සහ තිනකුරල් පුවත්පත් වල සති අන්ත දේශපාලන අතිරේකයන්හි දීර්ඝ වශයෙන් වූ ලිපි මගින් සාකච්ඡා වී තිබිනි.

එසේම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයද භාෂා ද්විත්වයේම පුවත්පත් තුළ සැලකිය යුතු මට්ටමේ ආවරණයක් ලබාගෙන තිබිණි. නව ව්‍යවස්ථාවක් සඳහා වන අනාගත අපේක්ෂා වියැකී යෑමත් සමගින්, දමිළ පුවත්පත් තුළ වූ යම් යම් කොටස් මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා උත්සාහ ගන්නා ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දක්වා හඬ අවදි කරන්නට යෙදී ඇත.

කර්නල් රත්නප්‍රිය බන්දුගේ සමුගැනීම

මුලතිවු විශ්වමඩු හි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරීවරයා වූ කර්නල් රත්නප්‍රිය බන්දු වෙත මෑතකදී දමිළ සිවිල් වැසියන් සහ හිටපු එල්ටීටීඊ සාමාජිකයින් කඳුළු පිරි නෙතින් යුතු සමුගැනීමක් ලබාදෙනු දක්නට හැකිවිණි. දමිළ දේශපාලනඥයන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් දමිළ ප්‍රදේශ හමුදා මුක්ත කරන ලෙසට නොනැවතී ඉල්ලීම් කරනා පසුතලයක, හිටපු එල්ටීටීඊ කාඩර්වරුන් විසින් රත්නප්‍රිය බන්දු කර්නල්වරයාට මල් මාලා පිට මල් මාලා පළඳවා, සිය කර මතින් ඔසවා ගෙන යෑම, ආදරණීයව වැළඳ ගැනීම සහ ඔහු නික්මයෑමේ දුකින් කඳුළු සැලීම පෙන්වන සේයාරූ පුවත්පත් තුළ මහත් අවධානයක් ලබාගැනීමට සමත් විණි.

දමිළ පුවත්පත් තුළ වූ කොටස් මගින් කර්නල් බන්දුගේ ජනප්‍රියත්වය දැක තිබුණේ, උතුර සාර්ථකව පශ්චාත් යුද හමුදාකරණයකට ලක් කෙරී ඇති බවට වන සාධක ලෙසිනි. විශ්වමඩු ගම්වාසීන්ගෙන් කර්නල් බන්දු ලැබූ සැලකීමට ප්‍රතිපක්ෂව පසුගිය සතියේ යාපනයේ තිබූ ධීවරයින්ගේ විරෝධතාවයකදී දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා ලැබූ දැඩි බාධාකිරීම් පෙන්වා දෙමින් වීරකේසරී ලියුම්කරුවෙකු විසින් යෝජනා කොට සිටියේ, දමිළයන් තමන්ගේම නියෝජිතයන්ගෙන් ඈත් වෙමින් හමුදාවට වඩාත් ලං වෙමින් සිටිනා බවයි. ප්‍රබල දේශපාලන මත දක්වන්නන් විසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දක්වා තිබුණේ, හමුදාමය, ප්‍රති-කැරළි සහ ආර්ථික අරමුණු වෙනුවෙන් මෙහෙ කරනා සියුම් සහ ඉහළ මට්ටමේ රාජ්‍ය මෙවලමක් ලෙසයි. ඔවුන් තර්ක කොට සිටියේ දමිළ ජනගහණයෙන් ආර්ථිකමය වශයෙන් අන්ත අඩියක සිටිනා කොටස් මෙම මෙවලමේ යැපෙන්නන් බවට පත් කොට ඇති බවත්, ඒ අනුසාරයෙන් ඔවුන් හමුදාවට යටහත් පහත් වන තත්වයකට පත් කෙරී ඇති බවත්ය.

කර්නල් රත්නප්‍රිය බන්දුව දමිළ පුවත්පත් මගින් ගෙන හැර දක්වා තිබුණේ සුභවාදී ආකල්පයකිනි. උදාහරණයක් ලෙසින් උදයන් කතුවැකිය දක්වන්නේ නම්, විශ්වමඩු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් හට ගෞරවය සහ අභිමානය ආරක්ෂා වන ලෙසින් සැලකීම සම්බන්ධයෙන් එයින් නිලධාරීවරයාට ප්‍රශංසා කොට තිබූ අතර, ඔවුන්ව වාර්ගිකත්වය මත ගනිමින් කොන් කෙරී නොමැති බවද එහි සඳහන් කොට තිබිණි. තිනකුරල් ලිපියක් මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පුළුල් දේශපාලනය පිළිබඳව ඉතාමත් විවේචනාත්මකව සඳහන් කොට තිබුණත්, කර්නල් බන්දු විසින් ඔහුගේ යටතේ සිටින්නන් හා හෘදයාංගම සම්බන්ධතාවයක් පවත්වා ගත් බව පිළිගෙන තිබිනි. ප්‍රධාන ධාරාවේ යම් යම් සිංහල පුවත්පත් මගින් මෙම සම්පූර්ණ සිදුවීම උත්කර්ෂයට නංවා, “උතුරේ ජනතාවගේ හදවත් දිනාගැනීම” සම්බන්ධයෙන් කර්නල් රත්නප්‍රිය බන්දු වෙත ප්‍රශංසා කොට තිබිණි.

කෙසේ වුවත් මෙම සමුදීමට සහභාගී වී සිටි දමිළ වැසියන් වෙනුවෙන් දක්නට ලැබුණේ ඉතා කුඩා අනුකම්පාවකි. එම්.කේ.සිවාජිලිංගම් විසින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරූපණය කොට තිබුණේ, ගැඹුරින් උරුම කොටගත් වහල් මනසිකත්වයක් පිළිබිඹු කරන්නක් ලෙසිනි. මෙම සමුගැනීමට එක්වූ හිටපු සටන්කරුවන් ඔහු විසින් පරිභවයට පාත්‍ර කෙරුණේ, ඊලම වෙනුවෙන් සටන් කොට මිය ගිය එල්ටීටීඊ සාමාජිකයින්ට ඔවුන් ද්‍රෝහීවූයේය යන චෝදනාව සමගිනි. සිංහල පුවත්පත් ආවරණයන් තුළ සිවාජිලිංගම්ගේ අදහස් වලට ප්‍රධාන තැනක් ලැබී තිබිණි. කෙසේ වුවත් අනිද්දා පුවත්පතේ කතුවැකිය මගින් යෝජනා කෙරුණේ මෙම සමුගැනීමේ උත්සවයේදී දර්ශනය වූ අගය කිරීම සහ ආදරය එම අණ දෙන නිලධාරීවරයා වෙනුවෙන් ලැබුණු යමක් මිස, විශාල වශයෙන් රජය හෝ හමුදාව වෙනුවෙන් ලැබුණු දෙයක් නොවූ බවයි. වීරකේසරී ලිපිය මගින් සමුගැනීමට සහභාගී වූ හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට චෝදනා කොට සිටියේ ඔවුන් සිංහල රාජ්‍ය හමුදාකරණ ව්‍යාපෘතියේ ප්‍රයෝජනවත් හවුල්කරුවන් වූ බවටයි. දමිළ පුවත්පත් තුළ වූ කොටස් මගින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සමාජිකයන් දැක තිබුණේ, ව්‍යාප්ත වන හමුදාවේ බුද්ධි ජාලයේ කොටසක් ලෙසිනි. හිටපු එල්ටීටීඊ කාඩර්වරුන් සමාජමය වශයෙන් වර්ජනය වී තිබීම ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට එක්වීම පසුපස ඇති බලවත් හේතුවක් ලෙසින් සන්ඩේ ඔබ්සර්වර් ලිපියකින් සඳහන් කෙරී තිබුණත් දමිළ පුවත්පත් එම දෘෂ්ටිය විශාල වශයෙන් නොසලකා හැර තිබිණි. ඊට ප්‍රතිවිරුද්ධ ලෙසින්, මෙතරම් හිටපු එල්ටීටීඊ කාඩර්වරුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා වැඩ කිරීම සඳහා ආශක්ත වන්නේ මන්දැයි යන්න සාකච්ඡා කිරීමේදී දමිළ මත දක්වන්නන් විසින් සැලකිල්ලට ගෙන තිබුණේ ආර්ථික සහ පුද්ගලික ආරක්ෂාව හා සම්බන්ධ පෙළඹවීම් පමණක් වුණි.

හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ට වන්දි ලබාදීම ජනපති විසින් ප්‍රතික්ෂේප කරයි

පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් විසින්, හිටපු එල්ටීටීඊ සටන්කරුවන් සහ ඔවුන්ගේ ආසන්න ඥාතීන් ඇතුළු යුද්ධයෙන් පීඩාවට පත්වූ සිවිල් වැසියන් හට වඩාත් වැඩිදියුණු කළ වන්දි පැකේජයක් ලබාදීම සඳහා වූ සන්දේශයක් මෑතකදී යොමු කරන්නට යෙදිනි.

මෙම ඉල්ලීමත්, එල්ටීටීඊයට නව පණක් දීමට එම පනත හේතුවනු ඇතැයි යන පදනම මත පිහිටමින් හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ට අර්ථලාභීන් ලෙසින් සැලකීම ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් දමිළ පුවත්පත් තුළ සැලකිය යුතු ආවරණයක් ලබාගැනීමට සමත්ව තිබිණි.

සිංහල පුවත්පත් මගින් මෙය වාර්තා කොට තිබුණේ ප්‍රවෘත්ති අංගයන් ලෙසිනි. අනෙක් අතට සන්ඩේ ටයිම්ස් දේශපාලන කොලම මගින් ස්වාමිනාදන්ගේ සංදේශ පත්‍රය ලේබල්ගත කරන්නට යෙදුණේ, ඉදිරියේ එන මැතිවරණ සඳහා දමිළ ඡන්ද ඉලක්ක කරගනිමින් ගත් හුදු දේශපාලනික පියවරක් ලෙසිනි.

මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් දමිළ පුවත්පත් මගින් මෙම හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට වන්දි ලබාදීම ජනපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම හෙළාදැක තිබුණේ එය මානුෂීය නොවන, අසංවේදී ක්‍රියාවක් ලෙසින් දකිමිනි. වීරකේසරී කතුවැකිය මගින් ඉස්මතුකොට පෙන්වා දී තිබුණේ හිටපු එල්ටීටීඊ සටන්කරුවන්ගෙන් ඉතා විශාල පිරිසක් සැබවින්ම සිවිල් ආරක්ෂක බලකායන්ගේ කොටසක් ලෙසින් හමුදාව මගින් සේවයේ යොදවා ගෙන ඇති බවත්, ඒ මගින් ඔවුන් නිරන්තර හමුදා පාලනය යටතේ සිටිනා බවත් වේ. දේශපාලන ලියුම්කරුවන් විසින් අවධාරණය කරන්නට යෙදුණේ, මෙම සඳහන් කරනා හිටපු එල්ටීටීඊ සටන්කරුවන්වම ‘පුනරුත්ථාපනය වී ඇති’ බවටත් තවදුරටත් ඔවුන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවෙනා බවටත් රජය මගින් ප්‍රකාශ කොට පෙන්වා දී ඇත්තේය යන කරුණයි. දමිළ පුවත්පත් මගින් ජනාධිපතිවරයාගේ මෙම දෘෂ්ටිය සංහිඳියාවට ගැඹුරින් අනර්ථකාරී වන්නේය යන අදහස දරා තිබිණි.

තවදුරටත් දමිළ පුවත්පත් මගින් ජනාධිපතිවරයාගේ ස්ථාවරය, මතුවෙමින් පවත්නා මතයකට අනුව අර්ථ නිරූපණය කරන්නට යෙදිණි. එනම් ජනපතිවරයා මීලඟ ජනාධිපතිවරණයට තරග කිරීම සලකා බලමින්, සිංහල ජාතිවාදීන් තෘප්තිමත් කරමින් සිටිනා බවයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

 

Related posts

Comments are closed.

Top