හිදැස: ඥාණසාර තෙර හිරේ යාම, එක්සත් ජනපදය එජා මානව හිමිකම් කොමිසම හැරයාම හා  නැගෙනහිර උණුසුම

ගලගොඩ අත්තේ ඥාණසාර තෙරුන් බන්ධනාගාරගත කිරීම සිංහල පුවත්පත් තුළ ප්‍රධාන ප්‍රවෘත්තියක් විනි. දමිළ පුවත්පත් තුළද මෙම සිදුවීම බොහෝ විට ලුහුඬු පුවත් ලෙසින් සැලකිය යුතු ප්‍රමාණයක අන්තර්ගතයක් ජනනය කිරීමට සමත් වී තිබුණත්, ඒ සම්බන්ධයෙන් මත දැක්වීම් දක්නට ලැබුණේ සීමාසහිතවය. මෙයට සමාන ලෙසින් සිංහරාජ වන රක්ෂිතයෙන් වන අලි දෙදෙනකු වෙනත් වනාන්තරයකට ගෙන යෑමේ උත්සාහය හා සම්බන්ධ අර්බුදයද දමිළ පුවත්පත් තුළ සඳහන් වූයේ ප්‍රවෘත්ති ලෙසින් පමණි. කෙසේ වුවත් උදයන් කතුවැකිය මගින් මේ සම්බන්ධයෙන් පෙන්වා දී තිබුණේ, උතුරේ වඩාත් තීව්‍ර වෙමින් ඇති මිනිස්-වනජීවී ගැ‍ටුම් මගින් දකුණේ වන රක්ෂිතයන්හි සිටිනා ගැටළු ඇතිකරනා වන සතුන් උතුරු පළාතේ වනගහණයන්ට මුදාහැරීම සම්බන්ධ තහවුරු නොකළ කටකථා සඳහා ගින්නට පිදුරු දැමීමක් වනු ඇති බවයි.

එ.ජ.මානව හිමිකම් මණ්ඩලයෙන් එක්සත් ජනපදය ඉවත් වීම

එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා එක්සත් ජනපදයේ තානාපතිවරිය වන නිකී හේලි විසින් නිවේදනය කරන්නට යෙදුණේ, තම රට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් මෙම සතියේදී ඉවත් වන බවයි.

මණ්ඩලයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් වීම සම්බන්ධයෙන් වූ සිංහල පුවත් මත දැක්වීම් මගින් මෙම පියවර ගැනීම සඳහා විය හැකි හේතු ලැයිස්තුගත කර තිබූ අතර, ඔවුන් තර්ක කරන්නට යෙදුණේ මේ මගින් ලෝකයේ සුපිරි බලවතා මානව හිමිකම් සම්බන්ධයෙන් දෙපිටකාට්‍ටු, හැඳි දෙකකින් බෙදනා ස්ථාවරයක සිටිනා බවට වන චෝදනාව සනාථ කෙරෙනා බවයි. මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් සැලකිය යුතු තරමේ දමිළ පුවත්පත් මත දැක්වීම් ප්‍රමාණයක් මගින් සම්පූර්ණයෙන්ම පාහේ අවධානය යොමුකොට තිබුණේ එක්සත් ජනපදය සමගින් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ 30/1 සම්මුති ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වීම කෙවැනි සංකීර්ණ විපාකයක් ඇති කරනු ඇතිද යන්න සම්බන්ධයෙනි.

දමිළ පුවත්පත් තුළ මෙම ගැටළුව පිළිබඳව පුළුල් දෘෂ්ටි තුනක් පැන නැගී තිබෙනු නිරීක්ෂණය කළ හැකිවිණි.

පළමු දෘෂ්ටියෙන් යෝජනා වී තිබුණේ මානව හිමිකම් කවුන්සිලයෙන් එක්සත් ජනපදය ඉවත් වීම මගින්, දැනටමත් මෙම සම්මුති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ ඇති මග හැර යන ආකල්පය තව දුරටත් ශක්තිමත් වනු ඇති බවයි. දමිළ දේශපාලන මත දක්වන්නන් විසින් තර්ක කොට සිටියේ, එක්සත් ජනපදයේ මෙම තීරණය ඔවුන් කෙරෙහි දෙමළ යුද වින්දිතයන් තැබූ විශ්වාසයට ද්‍රෝහී වීමක් බවටයි. එක්සත් ජනපදය මණ්ඩලයෙන් ඉවත්වීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ජාත්‍යන්තර පීඩනය ලිහිල් වනු ඇති බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න විසින් සිදුකළ ප්‍රකාශයට දමිළ දිනපතා පුවත්පත් වල මුල් පි‍ටු ආවරණයක් ලැබී තිබිණි. දමිළ දේශපාලනඥයන් කිහිප දෙනකුද මීට සමාන මත දක්වා තිබිණි.

මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉවත් වීම, දමිළයන්ගේ යුක්තිය සොයා යන ගමනට සෘණාත්මක ප්‍රතිවිපාක ඇතිකරනු ඇති බව දෙවැනි දෘෂ්ටියෙන් පිළිගැනුනද, ඒ සමගින්ම එයින් ප්‍රකාශ කෙරුණේ එය අතිවිශාල පසුබෑමක් නොවනු ඇති බවටයි. එයට අනුව වර්තමාන – වඩාත් එක්සත් ජනපද හිතකාමී- රජය බලයට පත්වීමත් සමගින්ම, යුධ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය සෙවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම අභිමුඛව එක්සත් ජනපදයේ ස්ථාවරය වඩාත් මෘදු බවට පත්විනි. මෙසේ එම දෘෂ්ටියේ යම් යම් පාර්ශව මගින් එක්තරා ආකාරයකට පිළි‍රැව් දෙන්නට යෙදුණේ, එක්සත් ජනපදය මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් දක්වන කැපවීම විශාල වශයෙන් අවස්ථාවාදී වන බවට වූ සිංහල පුවත්පත් තුළ වූ ජනප්‍රිය හැඟීමයි.

අනෙක් අතට තෙවැනි දෘෂ්ටියෙන් දක්වා තිබූ අදහස වූයේ, කැනඩාව, යුරෝපීය රටවල්, බ්‍රිතාන්‍ය වැනි අනෙකුත් බටහිර ජාතීන් විසින් ශ්‍රී ලංකාව 30/1 සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය දිගින් දිගටම අධීක්ෂණය කරනු ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඇමරිකා එක්සත් ජනපදය නික්ම යෑමෙන් හැඟවෙන්නේ ඉදිරියේදීද කවුන්සිලයේ සිදුවීම් හැඩගැස්වීම කෙරෙහි එක්සත් ජනපදය භූමිකාවක් රඟ නොදක්වනු ඇති බව නොවේ යැයි ආචාර්ය දයාන් ජයතිලක විසින් කළ ප්‍රකාශයද පුවත්පත් ලිපි මගින් උපුටා දක්වා තිබිනි. කෙසේ නමුත් මෙම දෘෂ්ටියට දමිළ පුවත්පත් තුළ එතරම් අවධානයක් අත් නොවුණි.

දමිළ වාර්තා කාල රේඛාව මගින් ඉස්මතු කෙරෙන දමිළ-මුස්ලිම් ආතතියක්

මෑතකදී නිර්මාණය වූ නැගෙනහිර දමිළයන්ගේ සාමූහිකය මගින් ඉදිරියේදී පැවැත්වෙන්නට නියමිත පළාත් පාලන මැතිවරණ සඳහා එක්සත් දමිළ පෙරමුණක් ඇති කරන ලෙසින් ඉල්ලා සිටින්නට යෙදිනි. ඉරිදා තිනකුරල් දේශපාලන අතිරේකයේ විශේෂයෙන්ම පළ වූ සම්මුඛ සාකච්ඡාවකදී මෙම සාමූහිකයේ කැඳවුම්කරුවන් විසින් තර්ක කොට සිටියේ, ‍රැකියා අවස්ථා සහ ආර්ථික සංවර්ධනයන් විෂයෙහිදී නැගෙනහිර දමිළයන් -විශේෂයෙන්ම මුස්ලිමුන් විසින්- කොන් කර පසෙකට කර ඇති බවටයි. එසේම මෙයට විසඳුම වන්නේ නැගෙනහිර පළාත් සභාව සඳහා එක්සත් දමිළ පෙරමුණක් මගින් පාලන සන්ධානයක් නිර්මාණය කිරීම තුළ බවද තවදුරටත් ඔවුන් දක්වා තිබිනි. කෙසේ වුවත් දමිළ දේශපාලන නිරීක්ෂකයන් විසින් මෙය සිදුවීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සැක පළ කොට තිබුණේ, නැගෙනහිර දමිළ දේශපාලන පක්ෂ අක්ෂ ගණනාවක් ඔස්සේ විසිරී ගොස් තිබීමත්, එයින් බොහෝ පක්ෂ ප්‍රමාණයක් ජාතික දේශපාලන පක්ෂයන්ගේ අනුග්‍රහය යටතේ තිබෙන්නේය යන කරුණත් සැලකිල්ලට ගනිමිනි.

මෙම කණ්ඩායමේ නැගී සිටීම අරුත් ගන්වා ගත යුත්තේ, දමිළ සහ මුස්ලිම් ප්‍රජාවන් අතරතුර වැඩිවෙමින් පවත්නා ආතතීන් පසුතලය ලෙස ගනිමිනි.

අප්‍රේල් මාසයේදී ත්‍රිකුණාමලයේදී අර්බුදයක් පැන නැගුණේ, ශ්‍රී ශන්මුග හින්දු කාන්තා විද්‍යාලයේ ශිෂ්‍යාවන්, ගුරුවරුන්, ආදි ශිෂ්‍යාවන් ඇතුළු පාසැල් ප්‍රජාව විසින්, මුස්ලිම් ගුරුවරියන් සිය ‍රැකියාව සඳහා අබායා පැළඳ පැමිණීමට එරෙහිව දියත් කළ විරෝධතාවයක් සමගිනි. මැයි මාසයේදී ශිව සේනයි නමින් වූ හින්දු කණ්ඩායමක සාමාජිකයන් විසින් යාපනයේදී විරෝධතාවයක් දියත් කරන්නට යෙදුණේ, ගව ඝාතනය සහ ගවමස් විකිණීම තහනම් කරන ලෙසින් ඉල්ලමිනි. වඩාත් මෑතකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වන්නි ප්‍රදේශය සඳහා වූ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් හින්දු සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙසින් පත් කිරීම, එකෙණෙහිම දමිළ ප්‍රජාව විසින් දැඩි දෝෂාරෝපණයකට ලක් කෙරිණි.

මෙම සිදුවීම් වලින් බොහෝමයක් සිංහල පුවත්පත් වාර්තා වල දක්නට ලැබුණේ යන්තමින් වුවත්, දමිළ භාෂා පුවත්පත් තුළ මෙම සිදුවීම් ප්‍රධාන පුවත් වූවා පමණක් නොව ප්‍රමුඛ පෙළේ කතුවැකි සහ ප්‍රමුඛ සතිපතා කොලම් සඳහාද ඒ විෂය වී තිබිණි. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම් වාලම්පුරි කතුවැකිය මගින් ප්‍රකාශ කොට තිබුණේ, කාදර් මස්තාන්ගේ පත්වීම මගින් ශ්‍රී ලංකාව තුළ ආගමක් ලෙසින් හින්දු දහමේ අවසානය හැඟවෙන බවයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top