උතුරු පළාත් නායකත්වය විජයකලා ඇමැතිනිය වෙනුවෙන් පෙනී සිටී

උතුරේ ජනතාවට අද නොමැති ආරක්ෂාවක් සහ නිදහසක් එල්ටීටීඊ පාලන සමයේ තිබුණු බව ප්‍රකාශ කිරීම නිසා දකුණේ දැඩි ප්‍රහාරයකට ලක් වී සිටින ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිනිය වෙනුවෙන් උතුරු පළාත් සභාවේ ප්‍රධාන නායකයන් ඉදිරිපත් වී තිබේ.

පළාත් සභාවේ මහ ඇමතිවරයා මෙන්ම සභාපතිවරයාද ප්‍රකාශ කරන්නේ යුද්ධයෙන් පසු කාලපරිච්ඡේදයේ නැති ආරක්ෂාවක් එල්ටීටීඊ පාලන සමයේ උතුරේ ජනතාවට තිබුනු බව පැවසීම සත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමක් බවයි.

උතුරේ ජනතාවගේ අනාරක්ෂිත භාවය පිළිබඳ විමර්ශනය කිරීමේ කිසිදු වැරද්දක් නැති බව උතුරු පළාතේ මහ ඇමතිවරයා ප්‍රකාශ කළේ විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් යාපනයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

එල්ටීටීඊ පාලනය පැවති අවදියේ යුද්ධයෙන් ඇතිවූ පීඩාව හැරුනුකොට වෙනත් හිරිහැරයක් සිදු නොවූ බව   පැවසූ මහ ඇමැතිවරයා, අද උතුර අනාරක්ෂිත වී ඇතැයි කියා සිටියේය.

“ප්‍රභාකරන් ගේ කාලයේ අපේ ජනතාව ආරක්ෂිතව ජීවත් වුනා කීමෙන් අපි ත්‍රස්තවාදීන් වෙන්නේ නෑ,” යි මහ ඇමැති සී වී විග්නේස්වරන් ප්‍රකාශ කළේය.

“යුද්ධ කාලයේදී ගෑනු ළමයෙක් පෙනෙන්නට රත්තරන් ඇඳගෙන රෑටත් තනියෙන් බය නැතිව පාරේ යන්න පුළුවන් තත්වයක් තිබුනා. කවුරුත් ඇයට හිරිහැරයක් කරන්නේ නෑ. ආරක්ෂා සහිතව ඇයට ගෙදරට යන්න පුළුවන් තත්වයක් තිබුණු බව ලෝකයම දන්නා ඇත්තක්. අද එහෙමද? කඩු, ස්ත්‍රී දුෂණ, ප්‍රචන්ඩ ක්‍රියා, මත්ද්‍රව්‍ය පාවිච්චිය ඉතා ඉහලයි.”

මෙම තත්වය පාලනය කිරීම සඳහා දිගින් දිගටම පොලිස් බලතල ඉල්ලා ඇති නුමුත් දකුණේ ඉන්නා දේශපාලකයන් ඒ පිළිබඳව වටහා නොගෙන ජාතිවාදී මත වපුරන බවට මහ ඇමැතිවරයා කනගාටුව පල කළේය.

විජයකලා මහේෂ්වරන් ඇමැතිනිය පලකළ අදහස් වල කිසිදු වරදක් නොදකින බව පවසන උතුරු පළාත් සභාවේ සභාපතිවරයා ඇය එය ප්‍රකාශ කළ ආකාරය දෝෂ සහගත බව කියා සිටී.

“LTTE පාලනයක් පැවති යුගයේ උතුරේ කල්ලි දූෂණ තිබුනේ නෑ, සංස්කෘතිය රැකුණා, මිනිස්සු ආරක්ෂාව  ඇතිව ජීවත් වුනා,” යි සභාපති සී වී කේ සිවඥානම් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

“ඒ කාලේ මේවා කරලා බේරිලා යන්න බෑ. අද ලේසියෙන් බේරිලා යනවා.”

උතුරේ පවතින අනාරක්ෂිත තත්වය ගැන හෙළිදරව් කළ විජයකලා මහේෂ්වරන් ඇමැතිනියට තව දුරටත් සේවයක් කිරීමට ඉඩ සලසා දිය යුතු බව කී මහ ඇමැති සී වී විග්නේස්වරන් තමන්ගේ අදහස් බැහැර නොකර ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ඉදිරිපත් වන ලෙස දකුණේ දේශපාලකයන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

 

Related posts

Comments are closed.

Top