මහා කුඩු මුදලාලිලා ඉන්නේ ඉහළ පෙලේ සභාපතිලා, උපාසකලා හැටියට: මංගල | VIDEO

මරණ දඬුවම ක්‍රියාත්මක කළත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් මර්දනය කිරීමට ඇති හැකියාව ගැන ආණ්ඩුවේ මුල් පෙලේ අමාත්‍යවරයකු සැක පහල කරයි.

සිරගෙවල් තුල හිඳිමින් පවා මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයන්ට පෝරකයට යැවීමට තීන්දුව ගත් කැබිනට් මණ්ඩලයේදී විරුද්ධත්වය පෑ එකම පුද්ගලයා වන මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ මහා කුඩු මුදලාලිලා අත් අඩංගුවට ගෙන නැති බවයි.

“මේ රටේ පළවැනි පෙළේ කුඩු බිස්නස් කාරයෝ ඔය කොහෙවත් නෙවෙයි ඉන්නේ, හොඳ හොඳ ලයන්ස් ක්ලබ් වල, රොටරි ක්ලබ් වල, බෞද්ධ සංවිධාන වල සභාපති වරු හැටියට ප්‍රධාන උපාසක මහත්වරු, මහත්මීන් හැටියට ඉන්නේ,” යි  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

බන්ධනාගාර තුලදී මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන්නන් එල්ලුම් ගස් යැවීම යුක්ති සහගත කිරීමට වීරිය කළ මාධ්‍යවේදීන් ට අමාත්‍යවරයා කියා සිටියේ මුලින්ම දඬුවම් කළ යුත්තේ ජේලර්ලාට බවයි.

ඇතැම් පොලිස් නිලධාරීන්ද මත් ජාවාරමට සම්බන්ධ බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා චෝදනා කර තිබුනි.

මරණ දඬුවම ක්‍රියාත්මක කරන කිසිම රටක අපරාධ අඩුවී නැති බව අවධාරණය කළ අමාත්‍ය මංගල සමරවීර බරපතල අපරාධ කරුවන් “නොමරා මරණ” ජීවිතාන්ත සිර දඬුවමක් යෝජනා කර සිටියේය.

“මම මරණ දඬුවමට එදත් විරුද්ධයි, අදත් විරුද්ධයි,” අමාත්‍යවරයා දැඩි ලෙස කියා සිටියේය.

2016 දී ඔස්ලෝ නුවර  පැවති මරණීය දණ්ඩනයට එරෙහි හයවැනි ලෝක සමුළුවේ සමාරම්භක දේශනය පවත්වමින් එවක විදේශ අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර විසින් ප්‍රගතිශීලි මහජන මතයක් ගොඩනගා අනාගතයේ ආසියානු කලාපය තුළ මරණීය දණ්ඩනයේ අවසානයක් දැකීමේ අභිලාෂය මහත් අපේක්ෂා සහගතව පල කොට තිබුනි.

ජනාධිපතිවරයා ප්‍රමුඛ සාතිශය බහුතර අමාත්‍ය මණ්ඩලය අනුමත කළ මරණ දඬුවමට බෞද්ධ හා කතෝලික ප්‍රභූ නායකත්වයේ ආශිර්වාදය හිමිවී තිබේ.

Related posts

Comments are closed.

Top