පෝරකය: බටහිර බලතුන්ගේ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ විරෝධය

එල්ලුම් ගස නැවත ක්‍රියාත්මක කිරීම සඳහා රජය ගෙන ඇති තීන්දුව හෙලා දකින යුරෝපා සංගමය ඇතුළු බලවත් රටවල් ගණනාවක් මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ද ඊට දැඩි විරෝධය පල කර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණ දණ්ඩනය නියම වී සිටින  සිරකරුවන් එල්ලුම් ගසට යැවීම සඳහා තම අවසරය දෙන බව ජනාධිපතිවරයා මහනුවර දී පවසා තිබුනු අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න විසින් මාධ්‍යවේදීන්ට දැනුම් දීම රජයේ නිල මාධ්‍ය ඔස්සේත්, ජනමාධ්‍ය මගිනුත් ප්‍රසිද්ධියට පත් කර තිබුනේ ගිය සතියේය.

එම “කනස්සලු සහගත තොරතුර” දැනගත්තේ ජනමාධ්‍ය මගින් බව පවසන ශ්‍රී ලංකාවේ විදේශීය දූත මණ්ඩල  කිහිපයක් මේ දිනවල යුරෝපා සංචාරයක නිරත වී සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට දැඩි ලිපියක් ලියමින් ඒකමතිකව ඉල්ලා ඇත්තේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් හතලිස් අවුරුද්දක් තිස්සේ අනුගමනය කළ පිළිවෙත දිගටම පවත්වාගෙන යන ලෙසයි.

මානව හිමිකම් සම්බන්ධ ජාත්‍යන්තර සම්මුති 27ක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂාවෙන් යුරෝපා සංගමය විසින් GSP+ බදු සහනය 2017 මැයි මාසයේදී නැවත සලසා දෙන ලදී.

කෙසේවෙතත්, මානව හිමිකම් නගා සිටුවීමෙහි ලා ප්‍රගතියක් අත් කර නොගන්නේ නම්,  බදු සහනය නැවත අහිමි වීමේ අවදානමක් ඇති බව ආසියානු කලාපය භාර බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයකු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා තිබුනි.

යුරෝපා සංගමය ඇතුළු දූත මණ්ඩල විසින් ජනාධිපතිවරයාට ලියා ඇති ලිපියෙන් පෙන්වා දී ඇති පරිදි මරණීය දඬුවම ක්‍රියාත්මක කිරීම මානව හිමිකම් උල්ලංඝනයකි.

“මානව ගරුත්වය හා නොගැලපෙන මරණ දඬුවම අපරාධ වලක්වාලීමෙහි ලා සමත් වී ඇති බවට ඔප්පු කරන ලද කිසිදු සාධකයක් නොමැති අතර, අධිකරණ දෝෂ මාරාන්තික සහ ආපසු හැරවිය නොහැකි බවට පත්කරයි,” යනුවෙන් එම දූත මණ්ඩල නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

යුරෝපා සංගමයට අමතරව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව සහ කැනඩාව මරණ දණ්ඩනයට විරෝධය පල කරමින් ජනාධිපතිවරයාට ලිපි ලියා ඇති බව එම නිවේදනය වැඩිදුරටත් කියා සිටී.

“ක්ෂණික හා නිෂ්පල” විසඳුම්

මරණ දඬුවම 1976 න් පසු ක්‍රියාත්මක නොකිරීම නිසා ජගත් පැසසුමට ලක්වූ ශ්‍රී ලංකාවේ වරදකරුවන් පෝරකයට නැංවීමට ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ජාත්‍යන්තර වශයෙන් හානිකර විය හැකි බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි.

“මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව ශ්‍රී ලංකාව 2016 වසරේ දී ද  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදී,” යි කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම ජනාධිපතිවරයා ට ලියා ඇති ලිපියේ සඳහන් වෙයි.

“ප්‍රජාතන්ත්‍රවාදී මාවතට පිවිසීම පිළිබඳ ශ්‍රී ලංකාව අත්කරගත් ජාත්‍යන්තර කීර්තිය මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කිරීම වැනි ප්‍රතිපත්ති තුලින් පසුබෑමකට ලක්වීම වැලැක්විය නොහැක.”

මත් උවදුර මැඩලීමට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම “ක්ෂණික හා නිෂ්පල” විසඳුමක් බව අවධාරණය කරන මානව හිමිකම් කොමිසමේ සභාපතිනියගේ ලිපිය දේශපාලකයන් සහ නීති බලධාරීන්ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ව්‍යාපාරවලට හවුල් වී සිටීම පිළිබඳ ප්‍රසිද්ධ තොරතුර ජනාධිපතිවරයාට සිහිපත් කර දෙයි.

“දැනටමත් වරදකරුවන් වී බන්ධනාගාර ගතවී ඇති ජාවාරම්කරුවන් බන්ධනාගාරය තුළදීත් බාහිර ලෝකයත් සමග නව තාක්ෂණය මගින් බද්ධවී එම ජාවාරම්වල යෙදෙන්නේ නම්, එයට නිසි පිළිතුර විය යුත්තේ බන්ධනාගාරය තුල ඇති ආරක්ෂක කටයුතු නවීන තාක්ෂණය භාවිතා කරමින් තර කිරීමත්, මෙම ක්‍රියාවලියන්ට  සම්බන්ධ නිලධාරීන් පිළිබඳ නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටිමින් ඔවුන්ට විරුද්ධව ප්‍රබල ලෙස නීති මාර්ගයෙන් කටයුතු කිරීමත් වේ,” යි ආචාර්ය දීපිකා උඩගම ලියූ ලිපියේ සඳහන් වෙයි.

“එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් මේසා ව්‍යාප්තවීමට ප්‍රධාන සාධකයක් වන්නේ මෙම මහා පරිමාණ ජාවාරම් කරුවන්ට යම් දේශපාලන සබඳතා සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ යම් අංශ වලින් ලැබෙන සහාය බැව් ප්‍රචලිත කරුණකි. එම හේතුකාරකයන් ආමන්ත්‍රණය නොකොට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැනි ක්ෂණික සහ නිෂ්පල වූ විසඳුම් වලින් මෙමෙ මත්කුඩු උවදුරෙන් අප සමාජය බේරා ගැනීමට සාර්ථක හා දීර්ඝකාලීනව හැකි නොවන බව අපට ප්‍රත්‍යක්ෂ වේ.”

ශ්‍රී ලාංකික සමාජය තුල මරණ දඬුවම කෙරේ තිබූ “ප්‍රබල පක්ෂපාතිත්වය” ප්‍රශ්න කිරීමේ ප්‍රවනතාවක් වර්ධනය වී තිබෙන වග තමන්ගේ නිරීක්ෂණය වී ඇතැයි පවසන මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය එයට ප්‍රධාන හේතුව ලෙස දක්වන්නේ ශ්‍රී ලංකාව තුල යුක්තිය පසිඳ ලීමේ ක්‍රමවේදය පිළිබඳව ඇති විශ්වාසය පලුදු වීමයි.

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට රජය ගෙන ඇති තීරණයට මල්වතු, අස්ගිරි බෞද්ධ නායකත්වයේ සහ කොළඹ කතෝලික අගරදගුරුවරයාගේ ප්‍රසාදය හිමිවී තිබේ.

Related posts

Comments are closed.

Top