ශ්‍රී ලංකාවේ වියදමින් කෝටි ගණනක සැප සවාරි ගැසූ බ්‍රිතාන්‍ය මන්ත්‍රී සත් සතියක් ගෙදර

ඉයන් පේස්ලි සහ බ්‍රිතාන්‍යයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් අමරි විජේවර්ධන

මහින්ද රාජපක්ෂ පාලනයේ වියදමින් රුපියල් දෙකෝටියකට අධික සුඛෝපභෝගී නිවාඩු ගත කිරීමට ශ්‍රී ලංකාවට ගිය බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකුට සති හතක පාර්ලිමේන්තු තහනමක් පනවා තිබේ.

කනිෂ්ඨ ඉයන් පේස්ලි මන්ත්‍රීවරයාට එම බරපතල දඬුවම් පනවා ඇත්තේ 2013 දී සිය දරු මල්ලන් සමගින් සියලු වියදම් දරනු ලැබූ නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට යාම සම්බන්ධ විස්තර හෙළි නොකිරීම හේතුවෙනි.

අගමැති තෙරේසා මේගේ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බහුතරය ලබාදීමට හවුල් වී සිටින ප්‍රජාතන්ත්‍රවාදී සාංගමික පක්ෂයේ (DUP) මන්ත්‍රී කනිෂ්ඨ ඉයන් පේස්ලි 2013 දී දෙවතාවක්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ වියදමින් දරු පවුල සමග නිවාඩු ගතකළ බව ලන්ඩනයෙන් පල කෙරෙන ‘ද ටෙලිග්‍රාෆ්’ පුවත්පත පසුගිය සැප්තැම්බරයේ හෙළිදරව් කර තිබුනි.

දඬුවමට ලක්වූ මන්ත්‍රීවරයා යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙන එනු ලැබූ යෝජනාවට අදාලව ශ්‍රී ලංකාවේ රජයට වාසිදායක අන්දමින් කටයුතු කරන ලෙස  ඉල්ලා එවක අගමැති ඩේවිඩ් කැමරන් ට බලපෑම් කළ අයෙකි.

“ශ්‍රී ලංකාවට එල්ල වන මානව හිමිකම් උල්ලංඝන පිලිබඳ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමට එරෙහිව හඬ නැගීමට,” කටයුතු කරන මෙන් පේස්ලි මන්ත්‍රීවරයා 2014 මාර්තුවේදී බ්‍රිතාන්‍ය අගමැතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබුනි.

චෝදනා විභාග කළ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ආචාර ධර්ම කමිටුව මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය ගාස්තු ලබාගෙන බලපෑම් කිරීමක් ලෙසින්  හඳුන්වමින් එමගින් පාර්ලිමේන්තුව අපකීර්තියට පත් කළ බවට තීන්දු කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ඔහුට දක්වන ලද පුද්ගලික ආගන්තුක සත්කාරය ඔහු කරන මැදිහත්වීම් සම්බන්ධයෙන් බලපෑමක් කිරීමට සමත් වේ යයි අන් අය විසින් සිතනු ලැබීම සාධාරණ බව කමිටුවේ සභාපතිනි කැතරින් ස්ටෝන් ගේ නිගමනයයි.

පසුගිය පහළොස් වසර තුල බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයකුට පනවන ලද දීර්ඝතම පාර්ලිමේන්තු තහංචිය මෙය බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.

වර්තමාන රජය සමගද ගනුදෙනු කරන පේස්ලි මන්ත්‍රීවරයා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ වියදමින් සවාරි ගිය බව බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය හෙළි කළ අවස්ථාවේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ ඉයන් පේස්ලි ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර වෙළෙඳ සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ගැලපෙන අයකු ලෙස සැලකෙන බවයි.

ඉයන් පේස්ලි මන්ත්‍රීවරයා චෝදනා ප්‍රතික්ෂේප කොට ඇත්තේ “කරුනු වලින් හෝ තාර්කික බවින්” තොර සහ “අපහාසාත්මක” බව පවසමිනි.

Related posts

Comments are closed.

Top