රට ගිය සෙබළුන්ගේ ලිංගික අපචාර ගැන යුද හමුදාව අසත්‍ය තොරතුරු දෙන බවට දොස්

සාමසාධක රාජකාරියේදී සිටි යුද සෙබළුන් සහ නිලධාරීන් ලිංගික අපරාධ කිරීම පිලිබඳ දස අවුරුද්දක් පැරණි චෝදනා පිළිබඳව  විවෘතව කටයුතු නොකරන ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීහු ස්වාධීන කොමිසමකට නොමග යවන සුළු තොරතුරු ලබා දීම සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක්වී සිටිති.

හයිටි සාම සාධක බලකායේ සේවයේ නිරතව සිටියදී 2004 සිට 2007 දක්වා කාලය තුල කුඩා දරුවන් අපයෝජනය කළ බවට එක්සත් ජාතීන් විසින් හඳුනාගෙන තිබෙන ශ්‍රී ලාංකික සෙබල මුලක් සම්බන්ධයෙන් ගන්නා ලද පියවර පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ (RTI) කොමිෂන් සභාවට ආරක්ෂක අමාත්‍යාංශය සහ යුද හමුදාව ලබා දී ඇත්තේ අසත්‍ය තොරතුරු බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සහ ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) දැඩි ස්වරයෙන් යුතුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් පවසයි.

JDS සහ ITJP සංවිධාන දෙක එම හෙළිදරව්ව කර ඇත්තේ ළමා ලිංගික අපචාර චෝදනා ලබා හයිටියෙන් පිටමං කරන ලද 134 ක ශ්‍රී ලාංකික භට කණ්ඩායමක් සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව යුද හමුදාව RTI කොමිසමට දී ඇති පිළිතුරු පදනම් කරගෙනය.

තොරතුරු දැනගැනීමේ අයිතිය පදනම් කරගෙන රජයේ ආරක්ෂක බලධාරීන්ගෙන් එම විමසීම කර ඇත්තේ යාපනයේ දෙමළ මාධ්‍යවේදියෙකි.

පිටුවහල් කරන ලද භට කණ්ඩායමේ සාමාජිකයන් ගේ නම් සහ නිලතල, හමුදා සෙබළුන්ට එරෙහිව සාමාන්‍ය වැසියන් විසින් නගා ඇති චෝදනා, විමර්ශනයේ තොරතුරු, යුද්ධාධිකරණයේ විස්තර, වින්දිතයන්ගේ නම්, දෙන ලද දඬුවම් සහ විනය ක්‍රියාමාර්ග ඇතුළු කරුනු හෙළි කරන ලෙස ඉල්ලා උදයන් මාධ්‍යවේදී දිලීපන් අමුදන් විසින් තොරතුරු දැනගැනීමේ විමසුම ගොනු කර ඇත්තේ 2017 සැප්තැම්බර් 28 දාය.

ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලූ තොරතුරු මාස තුනක් තිස්සේත් නොලැබී යාම නිසා මාධ්‍යවේදියා පසුගිය දෙසැම්බරයේ RTI කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

“දල වශයෙන් සිය දෙනකු පමණ” සාමසාධක භටයන් හයිටියෙන් ශ්‍රී ලංකාවට හරවා එවන ලදැයි අභියාචනයෙන් පසු RTI කොමිසමට දැනුම් දුන් ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙන්නේ  “සම්බන්ධ වී ඇත්තේ තුන් දෙනකු පමණක්” බවයි.

මෙය රජය කලින් කී ගණන් හිලව් හා නොගැලපෙන බව පවසන JDS සහ ITJP සංවිධාන,  නිලධාරීන් ඇතුළු හමුදා භටයන් 23 දෙනකු වරදකරුවන් වූවයි ශ්‍රී ලංකා රජය 2017 ජනවාරියේදී වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ කමිටුවට (UNCAT) දැනුම් දුන් බව පෙන්වා දෙයි.

වසන් කිරීමට නම මාරු කිරීම

හයිටියේදී ලිංගික දුෂණයට ගොදුරු වූ ළමුන් අතර පිරිමි දරුවන් ද ඉන්නා බව වසන් කිරීමට උත්සාහයක් දරා ඇති බවට ද JDS හා ITJP බරපතල චෝදනාවක් කරයි.

ඔවුන් පවසන පරිදි ශ්‍රී ලාංකික සෙබළුන් 134 සම්බන්ධ එක්සත් ජාතීන්ගේ රහස්‍ය වාර්තාවේ නම “හයිටියේ ස්ථාවරකරණය සඳහා වන එක්සත් ජාතීන්ගේ මෙහෙයුම (MINUSTAH) තුලදී දරුවන් ලිංගික වශයෙන් සුරා කෑම සහ සහ කෙලෙසීම පිලිබඳ චෝදනා සම්බන්ධ විභාගය” යි.

එසේ වෙතත්, ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය RTI කොමිසමට පවසා ඇත්තේ වාර්තාවේ නම “බාල දැරියන් ලිංගික වශයෙන් සුරා කෑම සහ සහ කෙලෙසීම පිලිබඳ චෝදනා සම්බන්ධ විභාගය” යි.

එම නම් මාරුවෙන් වීරිය කරන්නේ බාල පිරිමි ළමුන් ලිංගික කෙලෙසීමට ගොදුරු කරගත් බව හෙළිවීම යටපත් කිරීම යැයි මානව හිමිකම් සංවිධාන දෙක චෝදනා කරයි.

“ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පිරිමින්ට කර ඇති ලිංගික ප්‍රචණ්ඩතාවල පරිමාණය පිළිබඳව අප ඇතුළු එක්සත් ජාතීන්ගේ වාර්තා කිහිපයක්ද හෙළි කරගෙන ඇති තොරතුරු අනුව මෙය පුදුමයක් නොවේ,” යි ITJP විධායක අධ්‍යක්ෂිකා යැස්මින් සුකා පවසයි.

“එක්සත් ජාතීන්ගේ වාර්තාවක නම වෙනස් කළ පමණින් අකැමැති දෙයක් එලවා දැමීමට පුළුවන් කමක් නැත.”

මාධ්‍යවේදියා විසින් මුල්ම ඉල්ලීම කළ දා පටන් යුද හමුදාව විවිධ කල් මැරීමේ උපායන් යෙදූ බවත් ඉල්ලුම් කරුගේ විශ්වසනීය භාවය බිඳ හෙලන්නට උත්සාහ කළ බවත් සංවිධාන දෙකේ නිවේදනයේ දැක්වේ.

තම ජාතික හැඳුනුම්පත පිලිබඳ තොරතුරු මාධ්‍යවේදියා මුලින්ම සිය අයැදුම්පත සමගින් ලබා දී ඇතත්, යුද හමුදාව ඒ විස්තර නැවත ඉල්ලා තිබේ. පසුව ඔවුන් තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර ඇත්තේ ඔහු සම්බන්ධ බුද්ධි අංශ තොරතුරු ඇති බව පවසමිනි. RTI කොමිසම කියා ඇත්තේ අයැදුම්කරුවකුගේ පසුබිම ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් කරගත නොහැකි බවයි.

කොමිසම යුද හමුදාවේ හේතු දැක්වීම පිළිගෙන නැත.

“මෙය පණිවිඩකරුවාට වෙඩි තැබීමේ පොදු පිළිවෙතයි,” යනුවෙන් JDS කැඳවුම් කරු රෝහිත භාෂණ අබේවර්ධන පවසයි.

රටේ නම කැතවීම,  කලකට ඉහතදී සිදුවීම, විමර්ශනයක් තොරතුරු හෙළිවීම නිසා පුද්ගලිකත්වයට හානි සිදුවීම, එක්සත් ජාතීන්ගේ වාර්තාවේ රහසිගත භාවය සහ ජාත්‍යන්තර ගිවිසුම් වලට හානි පැමිණීම ඇතුළු විවිධ හේතු සාධක වලට මුවාවී හයිටියේ ලිංගික අපරාධ සම්බන්ධයෙන් දඬුවම් දුන් බව පවසන 23 දෙනා ගැන තොරතුරු හෙළි කිරීමෙන් ආණ්ඩුව වැළකී සිටින බව JDS කැඳවුම්කරු වැඩි දුරටත් පවසයි.

UN භංගවේවා! හයිටි බිත්තියක්

විකාරයක්

ජාතික ආරක්ෂාව ට හානිකර විය හැකි බව පවසමින් තොරතුරු හෙළි නොකර සිටීම විකාරයක් ලෙසින්  ITJP විසින් හෙලා දැක තිබේ.

“තමන් විසින් රැකබලා ගත යුතුව තිබුනු දරුවන් ලිංගික වශයෙන් අපහරණය කළ සොල්දාදුවන්ගේ සාපරාධිත්වය පිළිබඳ වගකීම ට අදාලව ජාතික ආරක්ෂාව ගැන තර්ක වලට හමුදාව මුවාවීම අනුමත කළ නොහැක,” යි යැස්මින් සුකා පවසයි.

“රටේ කීර්ති නාමය දශක ගණනාවකට පසු කෙලෙසනු ඇත්තේ කරන ලද අපරාධ වලින් නොව පූර්ණ පාරදෘශ්‍ය භාවය නිසා යැයි ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටීම විකාරයකි. ශ්‍රී ලංකාවේ නම කැත කරන්නේ මේ රහසිගත භාවයයි.”

හයිටියේ දරුවන් ලිංගික වශයෙන් සුරා කෑම සහ කෙලෙසීම සම්බන්ධ චෝදනා වලට අදාලව ගත් මුළුමනින්ම පාරදෘශ්‍ය වන්නැයි කල ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයට බලකර සිටින ලෙස ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවට ලියන ලද ලිපියක් මගින් JDS හා ITJP ඉල්ලා තිබේ.

අභියාචනය නැවත විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ අගෝස්තු 7 වැනිදාය.

Related posts

Comments are closed.

Top