මන්නාරම සතොස සමූහ මිනීවලෙන් ළමා හා කාන්තා සිරුරු හමුවේ | VIDEO

දින 38 ක් තිස්සේ කැනීම් කළ මන්නාරම සතොස සමූහ මිනීවලෙන් බාල ළමුන් සහ කාන්තාවන් ඇතුළු පනහකට ආසන්න පිරිසක සිරුරු ගොඩගෙන තිබේ.

ඊට අමතරව පාදාගෙන ඇති හිස්කබල් සංඛ්‍යාව හතළිහකට ආසන්නය.

දන්ත වින්‍යාසය අනුව දරුවන් ලෙස පහසුවෙන්ම හඳුනාගත හැකි තිදෙනකුගේ සිරුරු ද හමුවී ඇති බව පවසන විමර්ශනය මෙහෙයවන ප්‍රධාන වෝහාරික විශේෂඥයා ඉදිරියේදී තවත් ඇටසැකිලි හමුවිය හැකි බවට බිය පළකරයි.

මෙම සිරුරු වලදමා ඇති භූමිය සුසාන භුමියක් නොවන බවට ද හඳුනාගෙන තිබේ.

“සාමාන්‍ය කනත්තක මළ සිරුරු වලදමන ආකාරයට ඔලුව එක පැත්තකට දාලා, අත් දෙක එකට තියලා නෙවෙයි මෙතන වලදමා තියෙන්නේ,” යි ප්‍රධාන විමර්ශක වෛද්‍ය සමින්ද රාජපක්ෂ ගගන හා දුරකතනයෙන් කියා සිටියේය.

“එක ළඟ තියෙන ඒවා තියෙනවා, එක පිට එක වැටිලා තියෙන ඒවා තියෙනවා, පිළිවෙලකට නෑ.”

වළල්ලක ආකාරයේ කවාකාර වස්තුවක් ද එක් පෙර බාහුවක මැණික්කටුව සන්ධිය ආසන්නයේ තිබී සොයාගන්නා ලද බව වෛද්‍ය රාජපක්ෂ තවදුරටත් කියා සිටියේය.

සම්පත් නොලැබී යාම නිසා කැනීම් කටයුතු අදාළ වීමේ අවදානම දැනට පහව ගොස් ඇතැයි කී ඔහු  “අවසන් අස්ථි කොටස හමු වන තුරු දිගටම කැනීම් කරගෙන යනවා” යි සහතික විය.

යුද සමයේ හා ඉන් පසුව පැහැරගෙන යනු ලැබුවන් වල දමා ඇතැයි ඥාතීන් බිය පලකරන මන්නාරම සතොස සමූහ මිනීවලේ කැනීම් ක්‍රියාදාමය අතුරුදහන් වුවන් පිලිබඳ කාර්යාලය (OMP) විසින්ද නිරීක්ෂණය කෙරේ.

Related posts

Comments are closed.

Top