රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහි විරෝධතාවක් 21 දා කොළඹ දී

තුන්දහසකට අධික දෙමළ ජනසංඛ්‍යාවක් රාජ්‍ය අනුග්‍රහයෙන් ඝාතනය කළ කළු ජුලිය වෙනුවෙන් අගනුවර ඒකාබද්ධ විරෝධතාවක් දැක්වීමට දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය කටයුතු සංවිධානය කර තිබේ.

“කළු ජුලියට වසර 35 යි. ජාතිවාදී ගිනි අවුලමින් දේශපාලන සිරකරුවන් මරා දැමු රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිවෙමු”  මැයෙන් එම විරෝධතාව  2018 ජුලි මස 21 දින පැය 14 00 ට මරදාන පිහිටි සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී සම්මන්ත්‍රණයක් ලෙසින් පැවැත්වීමට නියමිතව ඇත.

එම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දෙසුම දමිල බසින් නීතිඥ නඩරාජා කාන්තීපන් විසින් සිදු කිරීමට නියමිත අතර සිංහල බසින් ප්‍රධාන දෙසුම පැවැත්වීමට නියමිතව ඇත්තේ සිනමා හා දේශපාලන විචාරක විදර්ශන කන්නංගරය.

ප්‍රධාන දේශන දෙකට අමතරව  දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය නියෝජනය කරන සාමාජික සංවිධාන සදහාද අදහස් දැක්වීම සදහා අවස්ථාව සලසා දීමට එම සංවිධානය තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය වෙනුවෙන් මහින්ද දේවගේ, එක්සත් සමාජවාදී පක්ෂය වෙනුවෙන් සිරිතුංග ජයසුරිය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් දුම්න්ද නාගමුව, නව සම සමාජ පක්ෂය වෙනුවෙන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, මාක්ස් ලෙනින්වාදී නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය වෙනුවෙන් සෙන්දිවෙල්, අදහස් දැක්වීමට නියමිතය.

එමෙන්ම ලංකා ගුරු සංගමය වෙනුවෙන් ජෝසප් ස්ටාලින්, වමේ හඩ සංවිධානය වෙනුවෙන් ලීනස් ජයතිලක, මිනිසුන් උදෙසා මිනිස්සු සංවිධානය වෙනුවෙන් ප්‍රියන්ත වාස්, අක්ෂය සාමුහිකය වෙනුවෙන් නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර, විමුක්ති ව්‍යාපාරය වෙනුවෙන් එස්. ආරුලිංගම්, අලුත් පරපුර වෙනුවෙන් සුදත්ත මාධව, සමස්ථ ලංකා ධීවර ජනතා වෘත්තිය සංගමය වෙනුවෙන් අරුණ රොෂාන්ත, රැකියා විරහිත උපාධිධාරී සංගමය වෙනුවෙන් තැන්නේ ඥාණාන්නද හිමි මෙන්ම නීතිඥ ඒ.එස් රත්නවෙල් ද අදහස් දැක්වීමට නියමිත බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

Related posts

Comments are closed.

Top