හිදැස: ‘ජනාධිපති අපේක්ෂක’ ගෝඨාභය, විජයකලා, අපරාධ රැල්ල, පෝරකය හා යාපන කොටුවේ හමුදා කඳවුර

පසු වූ සති වල මෙන්ම මෙම සතියේද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයකු ලෙසින් ඉදිරිපත් වීමට ඇති හැකියාව දමිළ මෙන්ම සිංහල පුවත්පත් වාර්තාකරණ තුළද විශාල වශයෙන් පුවත් ජනිත කරවන්නට සමත්ව තිබිනි. පසුගිය සතියේ ප්‍රධානතම ප්‍රවෘත්තිය වූ විජයකලා මහේශ්වරන්ගේ ‘එල්ටීටීඊය නැවත ගෙන ඒමේ’ ප්‍රකාශය සහ එයින් පසුව සිංහල ජාතිකවාදීන් විසින් එයට දැක්වූ විරෝධය පිළිබඳ මාධ්‍ය අවධානය, ඇය තම ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු මෙම සතියේදී සැලකිය යුතු ලෙසින් පහත වැටී තිබිණි. මෑතකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 16 දෙනාගේ වැදගත්කම සහ එම සිදුවීමේ වත්මන් තත්වය සම්බන්ධයෙන් සිංහල පුවත්පත් මගින් දිගින් දිගටම අදහස් දක්වා තිබුණද, එම 16 දෙනාගේ දේශපාලනික උපාය විධික්‍රමයන් දමිළ පුවත්පත් වාර්තාකරණය තුළ අවධානය ලබාගෙන තිබුණේ යන්තමිනි.

අපරාධ ‍රැල්ල වැඩිවී ඇතිද?

දරුණු ගණයේ අපරාධ – විශේෂයෙන්ම පාතාල ලෝකයේ මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ සිදුවීම් සිංහල සහ දමිළ පුවත්පත් තුළ මෙම සතියේ විශාල වශයෙන් වාර්තා වී තිබුණේ අනුක්‍රමික තුන්වැනි සතියද සනි‍ටුහන් කරමිනි. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් බත්තරමුල්ල-කළුබෝවිල ප්‍රදේශයේදී අල්ලා ගත් රුපියල් බිලියන 1.24 ක වටිනා හෙරොයින් තොගය දිනපතා ජාතික පුවත්පත් හතක් පුරා ප්‍රධාන සිරස්තල මවා තිබිනි. මීට සමාන ලෙසින් කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමද භාෂා දෙකේම පුවත්පත් තුළ පුළුල් අවධානයක් ලබාගෙන තිබිනි.

පසුගිය අවුරුදු තුන ඇතුළත වාර්තා වූ බරපතළ අපරාධ ප්‍රමාණය ක්‍රමානුකූල හා ස්ථිර අඩු වීමක් දක්වන බවට සහ විසඳනු ලැබූ අපරාධ ප්‍රමාණයද ඒ හා සමගාමීව වැඩි වී ඇති බවට පෙන්වන පොලිස් සංඛ්‍යාලේඛනයන්ට ප්‍රතිවිරුද්ධ ලෙසින්, රට තුළ වූ පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් බරපතළ ලෙසින් උග්‍ර වැඩිවීමක් දක්වන බවට එකඟතාවයක් භාෂා ද්විත්වයේම පුවත්පත් තුළ දක්නට ලැබිණි. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් වීරකේසරී කතුවැකිය මගින්, “ශ්‍රී ලංකාව කෙමෙන් කෙමෙන් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමේ මධ්‍යස්ථානයක් වී ඇති බව” නිරීක්ෂණය කරන්නට යෙදුණු අතර, එයින් සියලුම පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින්නට යෙදුණේ ශ්‍රී ලංකාව මීලඟ කොලොම්බියාව වීමට ඉඩ නොදෙන ලෙසයි. එසේම ලක්බිම කතුවැකිය මගින් කොළඹ නගරය සංසන්දනය කොට සිටියේ ඇල් කැපෝන්ගේ චිකාගෝව සමගිනි.

සිංහල පුවත්පත් තුළ යම් යම් කොටස් මගින් අපරාධ මැඩපැවැත්වීම විෂයෙහි පොලිසියේ කාර්යක්ෂමතාවය ප්‍රශ්න කර සිටි නමුත්, හැ‍ඟෙනා ලෙසට තීව්‍රව වැඩිවී ඇති අපරාධ ‍රැල්ල සඳහා වන වගකීම පිළිබඳ කතිකාව විශාල වශයෙන් කේන්ද්‍රගත වී තිබුණේ වර්තමාන සහ පෙර රජයන් වෙතයි. වත්මන් රජයේ අය විසින් රාජපක්ෂ රජය යටතේදී පාතාල ලෝකයේ අය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබුණු බවට සැක එල්ල කොට සිටි අතර, පවතින රජයේ සමස්ත දුර්වලත්වය මගින් අරාජික සමයක් නිර්මාණය කිරීම පවත්නා නීතියේ හා සාමයේ අර්බුදයට හේතුව ලෙසින් ඒකාබද්ධ විපක්ෂය විසින් දක්වන්නට යෙදිණි.

මෙයට ප්‍රතිවිරුද්ධ ලෙසින් දමිළ පුවත්පත් මගින් හඳුනාගන්නට යෙදුණේ, ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ රාජ්‍ය බුද්ධි අංශ යාන්ත්‍රණය යන සමස්ත ආරක්ෂක සංස්ථාපිතයම උක්ත ගැටළුවේ සැලකිය යුතු කොටසක් ලෙසිනි. උදාහරණ ලෙසින් දක්වන්නේ නම් තිනකුරල් ලිපියක් මගින් ප්‍රකාශ කොට සිටියේ, යාපනයේ මන්නා පිහි කල්ලි සහ පොලිසිය ඉතා සමීපව කටයුතු කරනා බවයි. එසේම වීරකේසරී ලිපියක් මගින් ඉඟි කරන්නට යෙදුණේ, හමුදාවේ විවිධ අංශයන් සහ දකුණු ඉන්දියානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇති බවට සැක කෙරෙන එකඟතාවයක් සම්බන්ධයෙනි.

යාපනය කො‍ටුව තුළ හමුදා කඳවුරක් ඉදිකිරීමට විරෝධතා

යාපනය කො‍ටුව තුළ හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට හමුදාවෙන් කරන ලද ඉල්ලීමට වූ විරුද්ධත්වය මෙම සතියේ වඩාත් උත්සන්න වී තිබුණේ, ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) මගින් පසුගිය ඉරිදා දියත් කළ විරෝධතාවක්ද සමගිනි.

මේ සම්බන්ධයෙන් දමිළ පුවත්පත් තුළ ආධිපත්‍යය දරා තිබූ දෘෂ්ටිය මගින් හමුදාවේ මෙම පියවර දැක තිබුණේ, උතුර තවදුරටත් මිලිටරීකරණය කිරීමේ රාජ්‍ය න්‍යාය පත්‍රයේ දිගුවක් ලෙසිනි. මෙයට අමතරව දමිළ පුවත්පත් තුළ වූ ඇතැම් කොටස් මගින් තර්ක කොට සිටියේ, යාපනය කො‍ටුව තුල හමුදා කඳවුරක් ස්ථාපනය කිරීම මගින් (අ) ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් ලෙසින් යාපනය කො‍ටුවේ වන වටිනාකම වියැකී යෑමට හේතුවනු ඇති බවත්, (ආ) ඓතිහාසික භූමියක් ලෙසින් යාපනය කො‍ටුව සංරක්ෂණයට බාධා එල්ල වනු ඇති බවත් ය.

කෙසේ වුවත්, වර්තමානයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ භාරකාරත්වය යටතේ ඇති යාපනය කො‍ටුව වෙත හමුදා කඳවුර තැන් මාරු කිරීම සඳහා හමුදාවෙන් වන යෝජනාව පැන නගින්නේ වර්තමානයේදී හමුදා කඳවුරු ස්ථාපනය කොට ඇති පුද්ගලික ඉඩම් නිදහස් කරන මෙන් බල කරමින් වන ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් බව මේ සම්බන්ධයෙන් වන දමිළ පුවත්පත් කතිකාව තුළ ඉස්මතු වී නොතිබුනි.

ආණ්ඩුවේ මරණ දඬුවම් යෝජනාව

මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනෙකුත් බරපතළ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට ජනපති සිරිසේන විසින් ගත් තීරණය සම්බන්ධයෙන් සිංහල පුවත්පත් තුළ වූ ප්‍රමුඛ මතය මගින් සහාය පළ කොට සිටි අතර ඒ සම්බන්ධයෙන් වන දමිළ පුවත්පත් මතය, එම තීරණයේ ඇති ප්‍රායෝගිකත්වය වෙනුවන් සහාය දැක්වීම සහ මානව හිමිකම් පාදක කොටගත් විරෝධතාවය දැක්වීම අතර බෙදී ගොස් තිබිණි.

උදාහරණ ලෙසින් දක්වන්නේ නම් වීරකේසරී කතුවැකිය මගින් මෙම තීරණය නිරූපණය කොට තිබුණේ, සමාජ ආපදා පැතිර යෑමට එරෙහිව ගන්නට වන වැළැක්විය නොහැකි අවසාන උපාය මාර්ගය ලෙසිනි. අනෙක් අතට උදයන් කතුවැකිය මගින් මරණ දණ්ඩනය පැනවීම සඳහා වන තීරණය හෙළා දැක තිබුණේ එය බියගුළු ක්‍රියාවක් ලෙසින් දක්වමින් වූ අතර, එයින් රජයට බල කෙරී තිබුණේ ‘තොණ්ඩුව තද කරනු’ වෙනුවට ‘ආරක්ෂක අංශ වඩාත් දැඩි කරනා’ ලෙසයි.

තවදුරටත්, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට අමතරව විශේෂ විධිවිධාන පනතක් ඔස්සේ වසර දෙකක් දක්වා පොලිස් බලතල ත්‍රිවිධ හමුදා වෙත පැවරීමට සැලසුමක් ඇති බවට රජය මගින් නිවේදනය කොට ඇත. සිංහල පුවත්පත් ආවරණය තුළ මෙම පසුව කියූ යෝජනාව අවධානය ලබාගෙන තිබුණේ යන්තමිනි. කෙසේ වෙතත් වීරකේසරී ලිපියක් මගින් නිරීක්ෂණය කර තිබුණේ මෙවැනි විධිවිධානයක් මගින් උතුරු -නැගෙනහිර මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතළ ප්‍රතිවිපාකයන් ඇතිවනු ඇති බවත්, එමෙන්ම මහජන ජීවිතය තුළ හමුදාවේ පෙනී සිටීම වර්තමාන රජය යටතේ විශාල වශයෙන් අඩු වී ඇතත් මෙම විධිවිධානය මගින් උතුරු-නැගෙනහිර වඩාත් ප්‍රමුඛ සහ ව්‍යාප්ත වූ භූමිකාවක් ලබාගැනීම සඳහා හමුදාව ධෛර්යමත් වනු ඇති බවත් ය.

 

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

Related posts

Comments are closed.

Top