පරණ ක්‍රමයටම “අලුත් ආණ්ඩුව” යටතේ දෙමළ 50 කට වධහිංසා කළ බවට චෝදනා

විශේෂ නියෝජිත බෙන් එමර්සන් 2017 ජූලියේ ශ්‍රී ලංකාවේදී

මේ ආණ්ඩුවේ පාලන සමයේත් ත්‍රස්ත නීති යටතේ අත් අඩංගුවට ගෙන වධහිංසා පමුණුවන ලද බවට චෝදනා කරන පනහකට වැඩි දෙමළ පිරිසක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අවධානය යොමුවී තිබේ.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත මහා පරිමාණයෙන් දෙමළ ජනතාවට එරෙහිව යොදා ගන්නා බව සඳහන් කරමින් ආණ්ඩුව දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කරන අලුත්ම එක්සත් ජාතීන්ගේ වාර්තාවක් වධහිංසාව සහ නොමනා ලෙස සැලකීම තවමත් දෛනිකව හා ආයතනගතව පවත්වාගෙන යන බව පවසයි.

වසරකට ඉහතදී ශ්‍රී ලංකාවට පැමිණි මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ත්‍රස්තවාදය පි‍ටුදැකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් විසින් එලි දක්වා ඇති වාර්තාවෙන් හෙළි වන පරිදි බොහෝ දෙනකු අත් අඩංගුවට ගැනීම පිණිස ත්‍රස්ත පනත යොදාගෙන ඇත්තේ නිරපරාදේය.

“ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ 2016 අවසන් භාගයේ ඉතා මෑතදී අත් අඩංගුවට ගන්නා ලද අය අතරින් සියයට අසූවක් වධහිංසාව සහ ශාරීරික නොමනා සැලකීම් සම්බන්ධයෙන් පැමිණිළි කළ අතර, ඔවුන් සම්බන්ධයෙන් පසුව පියවර ගෙන ඇත්තේ සාමාන්‍ය අපරාධ නීතිය යටතේය,” යි එක්සත් ජාතීන්ගේ විශේෂඥයාගේ වාර්තාවේ සඳහන් වෙයි.

“වර්තමාන අලුත් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවත්, අඩුම වශයෙන් දෙමළ 50 ක් වත් වධහිංසාවට ලක් කරන ලද බවට චෝදනා ඔහුගේ සංචාරයෙන් පසුව හෙළිවිය.”

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත දෙමළ ජනතාව මර්දනය කිරීමේ මෙවලමක් ලෙස යොදා ගන්නා බවට පලවී තිබෙන මතය සඳුදා ජිනීවා නුවරින් එලි දක්වන ලද වාර්තාවෙන් තහවුරු කෙරේ.

“පනත ක්‍රියාත්මක කිරීමේදී එය දෙමළ ජනතාවට ඉතා බලවත් ලෙස සහ අසමපාතික ලෙස බලපාන බව දැක්වෙන සංඛ්‍යාලේඛන සමග සලකා බැලූ කල්හි, ආයතනික වශයෙන් එක් ප්‍රජාවක් පුළුල් ලෙස පීඩාවට පත් කිරීම පිළිබඳ චිත්‍රයක් මතුවෙයි.”

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් යොදා ගනු ලබන බවට දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන විසින් වසර ගණනක් තිස්සේ හෙළිදරව් කර ඇති අමානුෂික වධබන්ධන මාලාවක්ද එක්සත් ජාතීන්ගේ වාර්තාවේ දැක්වේ.
කඩිනමින් අහෝසි කිරීමේ අරමුණින් යුතුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත පාවිච්චිය අත්හිටුවන ලෙස විශේෂ නියෝජිතයා නිර්දේශ කරයි.

ජගත් ජයසූරිය රැකීම

අපරාධ කර ඇති බවට චෝදනා ලබන යුද හමුදා සාමාජිකයන්ට දඬුවම් පමුණුවන බවට හමුදාපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබියදීත්, යුද අපරාධ නඩු පැවරී ඇති හිටපු හමුදාපතිවරයකුගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයා පෙනී සිටීම ගැන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා කනගාටුව පළ කර ඇත.

ජනරාල් ජගත් ජයසූරිය හෝ ශ්‍රී ලංකාවේ කිසිදු හමුදාපතිවරයකුට අත තැබීමට ලෝකයේ කිසිවෙකුට ඉඩ නොතබන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර උළෙල අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සපත කර තිබුනි.

ජනාධිපතිවරයා එම සහතිකය ලබා දුන්නේ ශ්‍රී ලංකාවේ සත්‍යය හා යුක්තිය සඳහා වන ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) ප්‍රමුඛ ලතින් ඇමරිකානු මානව හිමිකම් කණ්ඩායම් විසින් ශ්‍රී ලංකා බ්‍රසීල තානාපති ධුරය හෙබවූ හිටපු හමුදාපතිට එරෙහිව නඩු පැවරීමෙන් අනතුරුවයි.

“යුද අපරාධ වල විධාන වගකීම සම්බන්ධයෙන් චෝදනා කෙරෙන අපරාධ පැමිණිල්ලකින් හිටපු හමුදා සෙන්පතියකු රැක ගැනීමට විශේෂ නියෝජිතයාගේ සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ඉදිරිපත් වීම කනගාටුදායකයැ,” යි බෙන් එමර්සන් පවසා සිටී.

“රටේ සියලුම ප්‍රජාවන්ගේ යහපත පිණිස, සමානතාව සහ වගවීම පිළිබඳ මූලධර්ම වලට යටත්ව, සත්‍යය, යුක්තිය, හානිපුරණය සහ පුනරාවර්තනය වැළක්වීමේ සහතිකය ඇතුලත් අර්ථාන්විත සංක්‍රාන්ති යුක්ති විධික්‍රමයක් ස්ථාපිත කොට, හදිසි අවශ්‍යතාවක් වන ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය ක්‍රියාවේ යෙදවීම මගින් දිගුකල් දිවෙන ගැටළු වලට කල් පවත්නා සහ යුක්ති සහගත විසඳුමක් ලබා දීමට ශ්‍රී ලංකාව දී ඇති ජාත්‍යන්තර පොරොන්දු ඉටු කිරීමේ බලාපොරොත්තු කඩකිරීමක් මෙමගින් පෙන්නුම් කෙරේ.”

ශ්‍රී ලංකාවේ ආරක්ෂක ක්ෂේත්‍රයේ සියලු ආයතන මුළුමනින්ම සිවිල් පාලනය හා අධීක්ෂණය යටතට ගෙන එන ලෙස නිර්දේශ කරන විශේෂ නියෝජිත බෙන් එමර්සන්, මානව හිමිකම් උල්ලංඝනයේ යෙදී ඇති සියලුම හමුදා නිලධාරීන් සහ රජයේ සේවකයන් සේවයෙන් ඉවත් කිරීම සඳහා සෝදිසි ක්‍රියාදාමයක් ස්ථාපිත කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

Related posts

Comments are closed.

Top