උතුරේ හමුදා කඳවුරු වහන්නේ “දිවයින කර්තෘ ද?” අගමැති | VIDEO

 

උතුරේ හමුදා කඳවුරු වසා දමන්නට යුද හමුදා බලධාරීන් විසින් නියෝග කරන ලද බවට පළවූ පුවතක් ප්‍රතික්ෂේප කරන අගමැතිවරයා එවන් සැලසුමක් නොමැති බව තරයේ කියා සිටී.

යුද හමුදා බල ඇණි ප්‍රතිසංවිධානය කිරීමේ සැලසුමක් ඇතත්, එමගින් කඳවුරු ඉවත් කිරීමක් සිදු නොවන බව අගමැතිවරයා කියා සිටියේ උතුරු පළාතේ පාසල්වල ස්වේච්ඡා ගුරුවරුන්ට ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීම සඳහා යාපනයේ හින්දු විද්‍යාලයේ පැවැති රාජ්‍ය උත්සවයක් අමතමිනි.

“හමුදා කඳවුරු ඉවත් කිරීම දින 45 ක්‌ තුළ කරන්නට නියෝග” යන හිසින් ‘ඉරිදා දිවයින’ පල කළ මුල් පුවතේ සඳහන් කර තිබූ පරිදි අදියර හතරකින් කඳවුරු ඉවත් කිරීමේ නියෝගයක් යුද හමුදා මූලස්‌ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‌ෂ බ්‍රිගේඩියර් එච් ඒ එෆ් කේ මුහන්දිරම් ගේ අත්සනින් නිකුත් කර ඇත්තේ ජූලි 13 වැනිදාය.

කෙසේ වෙතත්, යුද හමුදාපති හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති ඇතුළු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් අගමැතිවරයා කියා සිටියේ දැනට කඳවුරු ඉවත් කිරීමේ අදහසක් නැති බවයි.

“දැන් ඉතින් කවුද වහන්නේ, දිවයින කර්තෘ දැ,” යි සභාවෙන් විමසා සිටි අගමැති රනිල් වික්‍රමසිංහ යුද්ධයක් නැති අවදියක කඳවුරුද ඉවත් කිරීම සාමාන්‍ය පිළිවෙත බව ප්‍රකාශ කළේය.

“ක්‍රමානුකූලව ත්‍රස්තවාදය නැතිවෙනකොට ඒවත් යන්න ඕනේ. දකුණෙත් තියෙනවා. යාපනේ කියන්නේ කොළඹ යටත් විජිතයක් නෙවෙයි.”

මතබේදයට ලක්වී ඇති මෙම ප්‍රවෘත්තිය හුවා දක්වමින් හමුදාව ඉවත් කොට යාපනය එල්ටීටීඊ සංවිධානයට භාර දෙන බවට “ජාතිවාදය අදිමින්, ජාතික ආරක්ෂාව ගැන මිනිස්සු බය කරන” බවට “උදේට පත්තර කියවන” ජනමාධ්‍ය ආයතන, අගමැති රනිල් වික්‍රමසිංහ ගේ දෝෂ දර්ශනයට ලක්විය.

උතුරෙන් හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳව තමන් කළ කතාවද පලකරන ලෙස අගමැතිවරයා එම මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කර සිටියේය.

Related posts

Comments are closed.

Top