ඉන්දු – චීන කඹ ඇදිල්ලෙන් උතුරට තාමත් ගෙවල් නෑ  | VIDEO

උතුරේ නිවාස ඉදිකිරීමේ මහාපරිමාණ කොන්ත්‍රාත්තුවක් ලබාගැනීමට සටන් වදින කලාපීය බලවතුන් දෙදෙනකුට රජය මැදිවීම නිසා යුද්ධයෙන් උන්හිටි තැන් අහිමි වී දශකයකට වැඩි කාලයක් බලා සිටින ජනතාවගේ නැවත පදිංචිවීම තවත් කල් යන ලකුණු පහළවී තිබේ.

ගෙවල් හතලිස් දහසක් ඉදි කිරීම සඳහා චීන සමාගමකට මෑතදී දෙන ලද අවසරයට ඉන්දීය රජය හරස්වීම අලුතින්ම ඇතිවී තිබෙන බාධාව බව රජය කියා සිටී.

එම කොන්ත්‍රාත්තුව චයිනා රේල්වේ බෙයිජිං ඉංජිනියරින් සමාගමටත් එහි ශ්‍රී ලංකා නියෝජිත යප්කා කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමටත් පැවරීම සඳහා නැවත පදිංචි කිරීම බාර අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන් අමාත්‍යවරයා ගෙනා යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුනේ මැයි මාසයේය.

“චීනය නිවාස හැදීම ගැන ඉන්දියාව එකඟතාව පල කරන්නේ නෑ,” යි අමාත්‍ය රාජිත සේනාරත්න බදාදා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ කලින් දිනයේ කැබිනට් මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ දැනුම් දෙමිනි.

කෙසේ වෙතත්, චීන ඉදිකිරීම් මෙන් දෙගුණයක වියදමක් දරන්නට සිදුවන බව පවසමින් ස්වාමිනාදන් අමාත්‍යවරයා ඉන්දීය නිවාස ව්‍යාපෘතියට විරෝධය පල කර තිබේ.

ජනපතිට “සුද්ද සිංහල”

වර්තමාන ආණ්ඩුව විසින් පොරොන්දු වූ පරිදි උතුරේ නිවාස ප්‍රශ්නය විසඳීමට අසමත් වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුල ඇතිවූ කතාබහ උණුසුම් ස්වභාවයක් ගත් බව අමාත්‍යවරු පවසති.

“බාරදී තිබෙන ගෙවල් 40,000 න් එකක්වත් පසුගිය තුන් අවුරුද්ද තුල ඉදිකරන්නට ස්වාමිනාදන් අමාත්‍යවරයාගේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට හැකිවී නැතැ,” යි කැබිනට් මණ්ඩලයේදී තමන් දොස් පැවරූ බව සංහිඳියාව භාර අමාත්‍ය මනෝ ගනේෂන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබුනි.

දකුණේ සිට උතුරට යන දේශපාලකයන් එහි ජනජීවිතය නගා සිටුවීම වෙනුවෙන් කටයුතු නොකරන බවට චෝදනා කරන අමාත්‍යවරයා, ඒ කෙරේ පලවන ජනතා කෝපය පිළිබඳව තමන් ජනාධිපති වරයාට “සුද්ද සිංහලෙන්ම” කී දේ සියලු දෙනාම අසා සිටි බව පවසයි.

“මෙහේ ඉඳලා උතුරට ගිහිල්ලා කවුරු මොනවා කියලා ආවත්, එහෙ ජනතාව ඉන්නේ යුක්ති සහගත කේන්තියකින්. ඔබතුමා ගැන, අගමැතිතුමා ගැන, අපේ ආණ්ඩුව ගැන තරහින් ඉන්නේ,” යි කැබිනට් මණ්ඩලයේදී තමන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට කියා සිටි බව අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කර තිබේ.

උතුරේ නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන්නේ මුදල් සම්බන්ධ ගැටළුවක් නොව රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් බවයි කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසන්නේ.

“ඉන්දියාවයි චීනයයි” කියමින් සිටීමෙන් ජනතාවට පලක් නොවන බව කී අමාත්‍යවරයා දෙපාර්ශවයම සමග  දෙකම සමග සාකච්ඡා කොට එළඹෙන විසඳුම කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට අගමැති වරයා පියවර ගනු ඇතැයි කියා සිටියේය.

යුද පීඩිත උතුරු නැගෙනහිර ගෙවල් 40,000 ක් ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව චීන සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාව මෙන්ම දෙමළ ජාතික සන්ධානයත් විරෝධය පළකර තිබේ.

නොරොච්චෝලේ  තාප විදුලි බලාගාරයෙන් බැහැර කෙරෙන අලු යොදා නිපදවන පෙරසවි තහඩු අඩු මිළ චීන ඉදිකිරීම් සඳහා යොදාගැනීම පිළිබඳව නිවාස අපේක්ෂිතයන්ගෙන්ද විරෝධතා මතුවී තිබේ.

මීට ඉහතදී ඉන්දීය ආසලෝමිට්ටල් සමාගම විසින් තහඩු යොදාගෙන පූට්ටු නිවාස 65,000 ක් ඉදිකිරීමේ සැලසුම ද මහජන විරෝධතා වලින් පසු අත්හිටුවන ලද්දේ ඒවා මිනිස් වාසයට නුසුදුසු බව හෙළි වීමෙන් අනතුරුවයි.

Related posts

Comments are closed.

Top