සතොස සමූහ මිනීවලෙන් හමුවූ ඇටකටුවල කැපුම් තුවාල | VIDEO

මන්නාරම සමූහ මිනීවලෙන් ගොඩගන්නා ලද මිනිස් ඇටකටු කිහිපයක තියුණු කැපුම් තුවාල දැකගන්නට ලැබී තිබේ.

පාදාගෙන තිබෙන සම්පූර්ණ ඇටසැකිලි 58 ක් අතරින් අඩුම වශයෙන් පහක් ම බාල ළමුන්ගේ බව දින 42 ක කැනීම් වල නිරත වී සිටින විශේෂඥයෝ පවසති.

“මෙම වලේ වැඩ කරන මමත්, අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමත් සමහර අස්ථි වල තිබෙන කැපුම් ලකුනු සාමුහිකව නිරීක්ෂණය කළා,” යි පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව සතොස පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් හා කියා සිටියේය.

එම කැපුම් සිදුවූයේ මරණයට පෙරද, පසුද යන්න වෝහාරික පරීක්ෂණයකින් තහවුරු කර ගත හැකි වනු ඇති බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

කැනීම් සිදුවන වල පුරා ඇටකටු විසිර පැවතුනු  අතර කොළඹ පාළි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ගිහි, පැවිදි ශිෂ්‍ය සමුහයක්  කැනීම් සඳහා සහභාගී වී සිටිනු මාධ්‍යවේදීන්ට දැකගන්නට ලැබුනි.

යුද සමයේ හා ඉන් පසුව පැහැරගෙන යනු ලැබුවන් වල දමා ඇතැයි ඥාතීන් බිය පලකරන මන්නාරම සතොස සමූහ මිනීවලේ විමර්ශන කටයුතු ආරම්භ කරන ලද්දේ මැයි 28 දාය.

Related posts

Comments are closed.

Top