මන්නාරම සමූහ මිනීවලේ “සැලසුම් සහගතව මරා දැමුවන්ගේ සිරුරු” |VIDEO

හැටකට ආසන්න මිනිස් ඇටසැකිලි  හමුවූ මන්නාරම සතොස සමූහ මිනී වලේ සැලසුම් සහගතව ඝාතනය කරන ලද්දවුන්ගේ මළ සිරුරු වලදමා ඇති බවට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධානයක් සැක පහල කරයි.

හතලිස් දෙදිනක කැනීම් වලින් හමුවූ අස්ථි කැබලි සමහරක තියුණු කැපීම් තුවාල දැකගත හැකිවූ බව සමූහ මිනීවල හා සම්බන්ධ වෝහාරික පුරා විද්‍යා පරීක්ෂණ මෙහෙයවන කැලණිය පුරා විද්‍යා පශ්චාත් අධ්‍යයනායතනයේ මහාචාර්ය රාජ් සෝමදේව හෙළි කර තිබුනි.

එමගින් පෙනී යන්නේ සැලසුම් සහගතව පැහැරගෙන ගොස් වධහිංසා පමුණුවා ඝාතනය කරන ලද්දවුන්  සතොස මිනී වලේ වලදමන ලද බව යැයි අතුරුදහන් වුවන් පිළිබඳව සොයාබැලීමේ කමිටුවේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.

පරීක්ෂණ කටයුතු හමාරයේ සත්‍යය හෙලිදරව් කරගැනීම සම්බන්ධයෙන් තම සංවිධානය අවධානයෙන් යුතුව සිටින බවද ලේකම්වරයා කියා සිටියේය.

රජය විසින් පත් කර තිබෙන අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) ද සතොස සමූහ මිනී වලේ විමර්ශන කටයුතු අධීක්ෂණයට සහභාගී වේ.

මේ අතර යහපාලන සමයේත් නීතියේ ආධිපත්‍යය නොමැති වීම නිසා උතුරේ ජනතාව විඳින හෙලන කඳුළු පිළිබඳව වේදනාවෙන් කතා කළ හිටපු ඇමැතිනි විජයකලා මහේෂ්වරන්  ගේ ප්‍රකාශය ජාතිවාදී පදනමින් ජනතාව නොමග යැවීමට යොදාගන්නා බවට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඔහු චෝදනා කළේය.

එම පිරිස පාර්ලිමේන්තුවෙන් පිටස්තර බලවේග යොදාගනිමින් රටේ ෆැසිස්ට් පාලනයක් ඇති කිරීමට වීරිය කරන බවට අනතුරු ඇඟවූ අතුරුදහන් වුවන් පිළිබඳව සොයාබැලීමේ කමිටුවේ ලේකම් සුන්දරම් මහේන්ද්‍රන් ඊට දකුණේ ජනමාධ්‍යද අනුග්‍රහ දැක්වීම ගැන කනගාටුව පල කළේය.

Related posts

Comments are closed.

Top