අලුත්ගම ප්‍රහාරය: “වග කියන්න ඕනෙත් අපි, වන්දි ගෙවන්නෙත් අපි” ඇමැති රාජිත | VIDEO

තිදෙනකුට මරු කැඳවමින් දහස් ගණනකට උන්හිටි තැන් අහිමි කරමින් මහින්ද රාජපක්ෂ පාලන සමයේ  අලුත්ගම මුස්ලිම්වරුන්ට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම පාලකයන්ම භාරගත යුතු බව හානියට පත්වූවන්ට වන්දි ලබා දීමට මුල්වූ අමාත්‍යවරයකු ප්‍රකාශ කරයි.

අලුත්ගම දර්ගා නගරයට 2014 ජූනි මාසයේ බොදුබල සේනාවේ මෙහෙයැවීමෙන් එල්ල කෙරුණු ප්‍රහාරයෙන් හානියට පත් දේපල සඳහා වන්දි මුදල් ප්‍රදානය කරමින් දොස්තර රාජිත සේනාරත්න අමාත්‍යවරයා, “වග කියන්න ඕනෙත් අපි – වන්දි ගෙවන්නෙත් අපි” යි කියා සිටියේය.

නිවාස සහ වෙළෙදසැල් 122 ක් වෙනුවෙන් රුපියල් කෝටි 19 කට ආසන්න එම මුදල පුනරුත්ථාපන සහ  නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන්ගේ ද සහභාගිත්වයෙන් බෙදා දෙනු ලැබුවේ අළුත්ගම දර්ගා නගරයේ සහිරා විද්‍යාලයේ දී ය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න එම අවස්ථාව හැඳින්වුයේ “බලය ගැනීම සඳහා මේ රටේ ඇති කළ කාලකන්නි දේශපාලනයෙන් විපතට පත් වුවන්ට වන්දි ගෙවීමක්” ලෙසිනි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ඇත්තේ “බලය ගැනීම සඳහා රටේ ජනතාව පාවාදීමේ ජාතිවාදය පිලිබඳ කතාව” යැයි පැවසු අමාත්‍යවරයා එවැනි“කාලකන්නි සිතුවිලි හා ක්‍රියා වලට” විරුද්ධව නැගී සිටින ලෙස ඉල්ලා සිටියේය.

මෙවැනි දේවල් නැවැත සිදු නොවීමට වගබලා ගන්න ඕනි. ආවේග මත ජාතිවාදයට යටත් වෙන්න එපා. ජාතික සංහිදියාව ගොඩනගන්න. මෙම ප්‍රශ්නය විසඳන තුරු රට සංවර්ධනය වන්නේ නැහැ.”

තමන් අමාත්‍යධුරය දරන ආණ්ඩුවේ “විවිධ අඩුපාඩු තිබුනත්” කිසිදු නායකයකු ජාතිවාදයට යටත් නොවන බව කියා සිටිමින්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයා වර්තමාන පාලන සමයේත් ජාතිවාදී ප්‍රහාර දියත් වූ බව පිළිගත්තේය.

එහිදී අම්පාර, ගිංතොට හා දිගන ප්‍රහාරවලට ගොදුරු වූවන්ටත් වන්දි ලබා දෙන බවට ඔහු සහතික විය.

අලුත්ගම ජාතිවාදී ප්‍රහාරය “පළවැනි වතාවත් නොවේ, අවසන් වතාවත් නොවේ” යයි අමාත්‍ය රාජිත සේනාරත්න අනතුරු අඟවා සිටියේය.

ශ්‍රී ලංකාවේ බෞද්ධ නොවන ආගමික ප්‍රජාවට එරෙහිව දියත් කෙරෙමින් පවතින ප්‍රහාර වර්තමාන රාජ්‍ය පාලනය යටතේ තවත් උත්සන්න වී ඇති බව ඇමරිකා එක්සත් ජනපද රජය දෙමසකට ඉහතදී ප්‍රකාශයට පත් කළ වාර්තාවක් මගින් පෙන්වා දී තිබුනි.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පලකළ 2017 වසරේ ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ වාර්තාව ශ්‍රී ලංකාවේ නීතිඥවරුන් උපුටා දක්වමින් කියා තිබුනේ අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාර සම්බන්ධයෙන් පවරා ඇති නඩු 42 ක් ද තවමත් නිමාවකට පත්වී නැති බව යි.

අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරයට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වග කිව යුතු බව පීඩාවට පත් මුස්ලිම් ප්‍රජා නායකයන් පසුගිය වසරේ එක්සත් ජාතීන්ට පැමිණිළි කර තිබුනි.

 

 

Related posts

Comments are closed.

Top