විග්නේස්වරන් උතුරු නැගෙනහිර කාර්ය සාධක බලකා රැස්වීම වර්ජනයේ | VIDEO

ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් පිහිටුවන ලද උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා වන කාර්ය සාධක බලකායේ මංගල රැස්වීම මහ ආණ්ඩුවට බලය පවරා ගැනීමේ සැලසුමක් ලෙසින් උතුරේ මහ ඇමතිවරයා විසින් වර්ජනය කර තිබේ.

උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු කාර්යක්ෂම කිරීම, විධිමත් කිරීම සහ වේගවත් කිරීම නව බලකායේ අරමුණ බව 30 සඳුදා පස්වරුවේ සිය කාර්යාලයේ පැවති පළමු රැස්වීම අමතා ජනාධිපතිවරයා කියා සිටියේය.

අගමැතිවරයා, කැබිනට් අමාත්‍යවරුන් 15 දෙනෙක් , පළාතේ දෙකේ ආණ්ඩුකාරවරුන්, පළාත් ප‍්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනා, අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන් සහ ති‍්‍රවිධ හමුදා ප‍්‍රධානින්ගෙන් එම කාර්ය සාධක බලකාය සමන්විත වෙයි.

පසුගිය සැප්තැම්බරයේ දී නිල කාලය හමාරවූ නැගෙනහිර පළාත් සභාවේ පාලනය දැනට පවතින්නේ ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම යටතේය.

යුද පීඩිත උතුරු නැගෙනහිර භෞතික සම්පත් දියුණු කිරීම සඳහා වර්තමාන රජය විශාල වැඩ කොටසක් කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළත් මහ ඇමැති සී වී විග්නේස්වරන් පවසන්නේ පළාත් සභාව වෙනුවෙන් ලබා දිය යුතු ප්‍රතිපාදන පවා ගිය ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවත් ලබා දී නැති බවයි.

කොළඹ හිඳිමින්ම රැස්වීම වර්ජනය කළ උතුරේ මහ ඇමති වරයා පවසා සිටියේ මෙය උතුරු නැගෙනහිර ජනතාවට ඔවුන්ගේ අයිතිය නොදී පළාත මධ්‍යම ආණ්ඩුවට අත්පත් කර ගැනීමේ වෑයමක් බවයි.

උතුරු පළාත් සභාවේ නිල කාලය ඉදිරි නොවැම්බරයේ අවසන් වීමට නියමිතය.

දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්න නොවිසඳා “අපි අරක දැම්මා මේක දැම්මා කියලා කිව්වාට අපේ අයිතිය තාම අපට නෑ,” යි සී වී විග්නේස්වරන් ගගන හා කියා සිටියේය.

“අපට නිදහසක් නැති පරිසරයක් තමයි අපට තියෙන්නේ. දැනටම උතුරු ප්‍රදේශයේ දකුණේ ඉඳලා මිනිස්සු අරං ඇවිත් ජනාවාස කරණය කරනවා.”

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ආණ්ඩුව දී ඇති පොරොන්දු ඉටු කරන බවට ජිනීවාහිදී  කියා පෑමේ උපායක් ලෙසින් ද ඔහු විසින් ජනාධිපති කාර්ය සාධක බලකාය හඳුන්වන ලදී.

“අනිත් අවුරුද්දේ මාර්තු මාසේ පෙන්නන්න හදනවා අපි මේක කෙරුවා ඒක කෙරුවා කියලා.”

මේ අතර දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ගගන හා කියා සිටියේ 2018 ජූනි 05 වන දින විශේෂ ගැසට් නිවේදනයක් මගින් පිහිටුවන ලද උතුරු නැගෙනහිර කාර්ය සාධක බලකාය සම්බන්ධයෙන් රජය තමන් සමග කිසිදු සාකච්ඡාවක් කර නැති බවයි.

 

Related posts

Comments are closed.

Top