“හමුදාවට උරුම” යාපනය බලකොටුව හැර නොයාමට හමුදාපති සහතික වෙයි | VIDEO

ඓතිහාසික යාපනය බලකොටුවේ කඳවුරු ලාගෙන හිඳීමට ප්‍රදේශවාසීන්ගෙන් එල්ලවන විරෝධය නොතකා දිගටම රැඳී සිටීමට ශ්‍රී ලංකා යුද හමුදාව තීරණය කර තිබේ.

උතුරේ යොදවා තිබෙන හමුදා බල සේනා මුණ ගැසීම සඳහා වන චාරිකාවක යෙදුනු හමුදා ප්‍රධානියා තදින් කියා සිටියේ යාපන කොටුවෙන් පිටවීමට “කිසිම හේතුවක් නැති” බවයි.

බලකොටුවේ කඳවුරු ලාගෙන සිටීමට ඉඩ සැලසීම මගින් දෙමළ භුමියේ පුරාවස්තු විනාශ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාවට මග පාදා ඇති බවට චෝදනා කරමින් උතුරේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන පසුගිය මාසයේ විරෝධතාවක් පවත්වා තිබුනි.

හමුදාපති වරයා පවසන පරිදි සියවස් හතරක් පැරණි බලකොටුවේ පාරම්පරික හිමිකාරත්වය ඇත්තේ යුද හමුදාවටයි.

“බලකොටුවක් කිව්වාම ඒකෙ සරල තේරුම බලකොටුව උරුම හමුදාවට, වෙන කාටවත් නෙවෙයි,” යනුවෙන් ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක යාපන බලකොටුවෙදී උතුරේ මාධ්‍යවේදීන් හා කියා සිටියේය.

“හමුදාව අලුතින් වාඩිලාගන්න යනවා කියලා  බය වෙන්න කිසිම කාරණයක් නෑ. ඒකෙ ඇත්තක් නෑ. හමුදාව දැනටමත් ඉන්නවා. අපි දිගටම ඉන්නවා. අපිට පිටවෙන්න කිසිම හේතුවක් නෑ.”

ත්‍රිකුණාමලය, ගාල්ල හා මාතර වැනි නගර වල ඓතිහාසික බලකොටු තුලත් යුද හමුදාව කඳවුරු ගසාගෙන සිටියත් යාපනයේ වැනි “සංකීර්ණතා” මතුව නැති බව යුද හමුදාපති මහේෂ් සේනානායක වැඩි දුරටත් පැවසීය.

යුද හමුදාපතිවරයා යාපනය කොටුවට හමුදාව සතු අයිතියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළත්, ඓතිහාසික බලකොටු නිල වශයෙන් පවතින්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයේය.

යුද ගැටුම් නිසා යාපනය බලකොටුවේ බොහෝ පුරා වස්තු වලට සිදුවී ඇති බරපතල හානි පුරා විද්‍යා විශේෂඥයන් විසින් වාර්තා කර තිබේ.

යාපනය බලකොටුව පෘතුගීසින් විසින් 1618 දී ඉදි කරන ලද්දක් වුවත්, මෑතදී කරන ලද ගවේෂණ වලින් තහවුරු වී ඇත්තේ යටත් විජිත යුගයට පෙර විදේශීය වෙළෙඳ ගනුදෙනු සිදුකළ ජනාවාසයක් එහි පැවති බවයි.

එක්සත් ජාතීන්ගේ සංස්කෘතික අරමුදලේ (UNESCO) සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ දායකත්වයෙන් යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අංශය එක්ව 2017 වසර මැදදී කරන කැනීම් වලදී රෝම, චීන අරාබි හා චෝල ශිෂ්ඨාචාර වලට සම්බන්ධ පුරාවස්තු හමුවී තිබේ.

ජූනි, ජූලි දෙමස තුලදී පුරාවිද්‍යා ගවේෂණය සිදු කෙරුනේ බ්‍රිතාන්‍යයේ ඩරම් විශ්ව විද්‍යාලයේ UNESCO මහාචාර්ය රොබින් කොනිංහම්, මහාචාර්ය අසේල ගුණවර්ධන සහ මහාචාර්ය පුෂ්පරාසා පුෂ්පරත්නම් ගේ ප්‍රධානත්වයෙනි.

Related posts

Comments are closed.

Top