අන්තවාදීන්ට බිය නොවී ආණ්ඩුව තදින් සිටිය යුතුයි: සම්බන්ධන්

ශ්‍රී ලංකාවේ ජනතාව අතර සාමය සහ සමාදානය ඇති කිරීම සඳහා රජය කඩිනම් හා ප්‍රමාණවත් පියවර නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තර නායිකාවක් හමුවේ නොසතුට පල කර ඇති විපක්ෂ නායකයා ආණ්ඩුව අන්තවාදීන්ට බියේ දැඩි පියවර නොගෙන සිටියොත් රට නිසි මග ගෙනයාමේ නොහැකියාව පිළිබඳ අනතුරු අඟවා තිබේ.

දකුණු ආසියාකරයේ එකොලොස් දින සංචාරයක යෙදෙමින් දිවයිනට පැමිණ සිටින පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය කොළඹදී හමුවූ අවස්ථාවේ විපක්ෂ නායකයා පවසා ඇත්තේ රට යුද්ධයට ඇද දැමූ හේතු වලට පිළියම් යෙදීම මගහැර යා නොහැකි බවයි.

“මේ රටට යුද්ධයකට මුහුණ දීමට සිද්ධවූ හේතු පිළිබඳව තදින් පියවර නොගෙන අන්තවාදී බලවේග වලට බයේ ඒ කරුණු අතහරින්න බෑ,” යි ආර් සම්බන්ධන් පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් ට පැවසූ බව දෙමළ ජාතික සන්ධානය කියා සිටී.

“ආණ්ඩුව දැඩි ස්ථාවරයක් ගෙන රට නිවැරදි දිසාවට ගෙන යා යුතුයි. අලුත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම රට ඉදිරියට ගෙනයාමේ දිසාවට තබන දැවැන්ත පියවරක් වනු ඇත.”

රට මුහුණ පා සිටින බොහෝ ප්‍රශ්න විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ඇතුළු දෙමළ ජනතාවට බලපාන ප්‍රශ්න විසඳන බවට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් “ජනතාව තුල මහත් අපේක්ෂා දල්වමින්” දුන් පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකාරිත්වය “මන්දගාමී හා ප්‍රමාණවත් නොවන” බව විපක්ෂ නායකයා ශ්‍රී ලංකාවේ පළමු නිල සංචාරයේ යෙදෙන පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය හා පවසා තිබේ.

“අලුත් ව්‍යවස්ථාවක් මගින්, පාලනයේ ව්‍යුහය වෙනස් කොට පළාත් වලට වැඩි බලතල දී, සත්‍යය හා යුක්තිය සහතික කරගෙන, වන්දි ලබාදීම, අතුරුදහන් වුවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම, සන්නද්ධ හමුදා විසින් වාඩිලාගෙන සිටින සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළක්වීමේ භයානක පනත යටතේ අත් අඩංගුවේ රඳවාගෙන සිටින ජනතාව නිදහස් කිරීම ආදී වශයෙන් වන ඒ සමහර පොරොන්දු ඉටු කිරීම මන්දගාමී හා ප්‍රමාණවත් නොවේ.”

අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියා දාමයට පොදුරාජ්‍ය මණ්ඩලය දිගටම උදව් කරන බවට මහලේකම්වරිය සහතික වූ බව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මානව හිමිකම් සුරකින ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමයක් වෙනුවෙන් මැදිහත් වීම ගැන පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම්වරිය සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම අතර හමුවේදී සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකා වාසීන්ගේ ආර්ථික, සාමාජික සහ සංස්කෘතික අයිතිවාසිකම් අආරක්ෂා වන පරිදි අලුතින් හිමිකම් පනතක් සම්පාදනය සඳහා විශේෂඥයන් සපයා දීමෙන් පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කාර්යාලය මහත් සේ උපකාරී වී තිබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය එහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත්, රටේ මානව හිමිකම් වැඩි දියුණු කිරීම සඳහා කොමිසමට තවත් ආධාර අවශ්‍ය බව ආචාර්ය දීපිකා උඩගම මහලේකම්වරිය හා පවසා තිබෙන බව පොදු රාජ්‍ය මණ්ඩලය ප්‍රකාශ කරයි.

“ශ්‍රී ලංකාවට තමන්ගේ මානව හිමිකම් නගා සිටුවීම සහ ආරක්ෂා කිරීම සඳහා තවත් උදව් ඕනෑ කර තිබේ,” යි මානව හිමිකම් කොමිසම උපුටා දක්වන මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ්ගේ සමාජ මාධ්‍ය ජාල පණිවිඩයක සඳහන් වේ.

Related posts

Comments are closed.

Top