ආණ්ඩුවට අරක් ගත් කොළඹ පෙලැන්තියක් ගැන මනෝගෙන් අනතුරු ඇඟවීමක්

අගනුවරට සංකේන්ද්‍රණය වූ බලය බෙදීමට ඉඩ නොදී ආණ්ඩු අරක් ගෙන ඉන්නා ප්‍රභූ පෙලන්තියක් ගැන රජයේ අමාත්‍යවරයෙක් අනතුරු අඟවයි.

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති සියලුම ආණ්ඩු තුල වාඩිලාගෙන ඉන්නා කොළඹ පදනම් කරගත් එම ප්‍රභූ පෙලැන්තිය ජනතාවට කිසිදු බලයක් අත්වීම වලක්වන බව ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජාතිය, ආගම සහ සංහිඳියාව සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සභාවක සමාරම්භක දේශනය පවත්වමිනි.

“රතු වේවා, කොළ වේවා නිල් වේවා හැම ආණ්ඩුවක්ම අරක්ගත් කොළඹ පෙලැන්තියක් ඉන්නවා,” යි මන්ත්රා ලයිෆ් සහ ජාතික සංහිඳියාව සඳහා වන තරුණ මුළුව විසින් ඇතුල්කෝට්ටේ පවත්වන ලද සර්වාගමික  සාකච්ඡා සභාව අමතා අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේය.

“බලය බෙදීම යනු සිංහල බලය දෙමළ අයට යාම නොවේ. දෙමළ බලය මුස්ලිම්වරුන්ට යාම නොවේ. කොළඹ සංකේන්ද්‍රණය වී තිබෙන බලය දිස්ත්‍රික්ක වලට, පළාත් වලට යා යුතුයි. යාපනය, මඩකලපුව අම්පාරට පමණක් නොවේ, මහියංගනයට, ඇඹිලිපිටියට ගාල්ලට හා මාතරටත් බලය බෙදිය යුතුයි.”

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය භාෂා අතර වෙනස්කම් පිළිබඳ ගැටළුවක් ලෙස හඳුන්වා දීම වැරදි මතයක් ලෙස පෙන්වා දුන් රාජ්‍ය භාෂා කටයුතු භාර අමාත්‍යවරයා, විසඳීම ඇත්තේ දේශපාලන බලය බෙදීම තුල බව කියා සිටියේය.

“ජාතික ප්‍රශ්නයේ ප්‍රධාන අංගය භාෂාව නොවේ. වාර්ගික ප්‍රශ්නය විසඳීමට පිවිසුමක් ලෙස භාෂා ප්‍රශ්නය විසඳමු. වාර්ගික ප්‍රශ්නය විසඳීමට අපට නිසියාකාර දේශපාලන බලය බෙදීමක් අවශ්‍යයි. අපි ඒ ප්‍රශ්නය සාකච්ඡා නොකර පැනලා යනවා.”

ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා බලය බෙදීම සඳහා ඇති කාලය ඉක්ම යන බවට ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් අනතුරු අඟවා සිටියේය.

“බලය නොබෙදුවොත්, එකිනෙකා ගැන පිළිගැනීමක් නැතොත්, මේ රටේ බහුවිධත්වය පිළි නොගත්තොත්, සමානතාවක් ඇතිවන්න බෑ. සමානතාව නැතිනම්, සමගිය ඇතිවන්නේ නෑ. එහෙම උනොත් රටට ඉස්සරහට  යන්න බෑ.”

ගල්කන්දේ ධම්මානන්ද හිමියන්, නොයෙල් ප්‍රනාන්දු පියතුමා, ආචාර්ය විජයසිරි චන්ද්‍රමෝහන් සහ ලෆීර් මධානි ද දායක වූ සාකච්ඡා සභාව මෙහෙයවන ලද්දේ අධිනීතිඥ සොරායා එම් ඩීන් විසිනි.

Related posts

Comments are closed.

Top