හිදැස: සිංගප්පූරු ගිවිසුම, යාපනයේ වාමන තර්ජන හා ව්‍යවස්ථා කමිටුවේ හොර අත්සන්

මෙම සතියේ සිංහල සහ දමිළ ප්‍රධානතම පුවත් අතර අතිපිහිත වීම් දක්නට නොලැබුණි. සිංගප්පූරුව සමගින් වන නිදහස් වෙළෙඳ ගිවිසුම සිංහල පුවත්පත් තුළ ප්‍රධාන මාතෘකාවක්ව තිබුණත්, දමිළ පුවත්පත් තුළ ඒ සම්බන්ධයෙන් වාර්තා වී තිබුණේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාවන්ගේ පසෙකින් වන සඳහන් කිරීමක් ලෙස පමණි. මෙයට සමාන ලෙසින්ම 1000cc එන්ජින් ධාරිතාවට අඩු මෝටර් රථ සඳහා වන තීරුබද්ද වැඩි කිරීමට රජය ගත් තීරණයද දමිළ පුවත්පත් තුළ සඳහන් වූයේ සුළු වශයෙනි.

වෙස් වලාගත් වාමනයන්: යාපනයේ නවතම තර්ජනයද?

පසුගිය සති කිහිපය පුරාවටම උතුරු පළාතේ නීතිය හා සාමය මෙන්ම මහජන ආරක්ෂාව, දමිළ පුවත්පත් තුළ නැවත නැවතත් කථාබහට ලක්වුණු තේමාවක් විය. මෙම සතියේ මේ සම්බන්ධයෙන් වූ වාර්තා සහ මත දැක්වීම් මගින්, සාමාන්‍යයෙන් දමිළ පුවත්පත් මත දැක්වීම් තුළ මෙම ගැටළුව සම්බන්ධයෙන් හඳුනාගනු ලැබූ සමාජ-විරෝධී ලැයිස්තුවට නවතම චරිතයක් හඳුන්වා දී තිබිණි.

දමිළ පුවත්පත් ප්‍රවෘත්ති වාර්තා මගින් හෙළි කරන්නට යෙදුනේ, වඩුක්කෝඩෛ පොලිස් වසමේ පදිංචිකරුවන් විසින් හමුදා පන්නයේ බූට් සපත්තු දමා, කළු හැඳ, සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කරගත් අඩි හතරක් පමණ උසැති මිනිසුන් දෙදෙනෙකු දැක ඇති බවයි. කෙසේ වුවත් මෙම වාර්තා මගින්, සය හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කොට ඝාතනය කිරීම ඇතුළු මෙම ප්‍රදේශයේ මෑතකදී සිදුවුණු අපරාධ මෙම ‘වාමනයන්’ වෙත බැර කිරීමට උත්සුක වී නොතිබුණත් 2011 වසරේ මැද භාගයේදී උතුරු-නැගෙනහිර භීතිය සහ ආතතිය ඉහළ නැංවීමට හේතුවූ ‘ග්‍රීස් යකා’ සංසිද්ධිය සහ මෙය අතර සමානකම් දකින්නට දමිළ දේශපාලන මත දක්වන්නන් සමත් වී තිබිණි.

මෙම වාමනයන් දර්ශනය වූ ප්‍රදේශයේ විශාල නාවික හමුදා කඳවුරක් තිබෙන්නේය යන්න ඉස්මතු කොට පෙන්වා දෙමින් සති අන්ත තිනකුරල් සම්පූර්ණ ලිපියක් මගින් නිරීක්ෂණය කරන්නට යෙදුණේ මන්නා පිහි කල්ලි, නොහික්මුණු තරුණ කණ්ඩායම්, මත්ද්‍රව්‍ය වැනි උතුරේ නීතිය හා සාමයට ගැටළු මතුකරනා ඕනෑම පිටස්තර යමක් කිසියම් හෝ ආකාරයකින් හමුදාවට සම්බන්ධ වන බවයි. වීරකේසරී ලිපියකින් විශේෂයෙන් පෙන්වා දෙන්නට යෙදුණේ 2011 දී මහජනයා විසින් ග්‍රීස් යකුන් අල්වාගත් විට හමුදාව සහ පොලිසිය එම ග්‍රීස් යකුන්ට ආරක්ෂාව සැපයූ බවයි. එම නිසා දමිළ පුවත්පත් මගින් මෙම නැඟී එන ‘වාමන’ භීතියද හමුදාව හා සම්බන්ධ කරන්නට යෙදිනි.

කෙසේ වෙතත් මෙම වාමන දර්ශන සඳහා හේතු විය හැකි අභිප්‍රායන් කුමක් විය හැකිද යන්න සම්බන්ධයෙන් එකඟතාවයක් දක්නට නොලැබුණි. දමිළ පුවත්පත් මත දැක්වීම් මගින් ලැයිස්තු ගත කරන්නට යෙදුණු විශ්වාස කළ හැකි අරමුණු, දමිළ ජනගහණය අස්ථිර වු සමාජයීය සහ ආරක්ෂක තත්වයක ස්ථීරවම සිර කොට තැබීමේ සිට ව්‍යාකූලත්වය රජයන ප්‍රදේශයක නීතිය ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කරනා භූමිකාව ඉ‍ටු කරන්නන් ලෙසින් දක්වමින් හමුදාව උතුරේ රඳවා තැබීම සාධාරණීකරණය කිරීම දක්වා පරාසයක විහිදී තිබිණි.

නව ව්‍යවස්ථාවට අනාගතයක් නොමැතිද?

මෑතකදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය මගින් එක්සත් ජාතික පක්ෂයේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්දිරන් වෙත චෝදනා කොට සිටියේ, ඔවුන් දෙදෙනා විසින් ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ විශේෂඥ කමි‍ටු වාර්තාව සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙසින් ඇඟිලි ගැසීම් කර ඇති බවටයි. එම චෝදනාවට අනෙකුත් සාමාජිකයන්ගේ අත්සන් හොරට ගැසීම පවා ඇතුලත්වී තිබිනි. තවදුරටත් පුවත්පත් මගින් වාර්තා කර තිබුණේ නව ව්‍යවස්ථාව මගින් අග්‍රාමාත්‍යවරයාට, කථානායකවරයාට සහ විපක්ෂ නායකවරයාට සාමූහිකව එක්ව, පත්ව සිටිනා ජනපතිවරයා ඉවත් කිරීමට මෙන්ම ජනාධිපතිවරණයක් අහෝසි කිරීමටද හැකියාව ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රකාශ කරනා බවයි.

දමිළ පුවත්පත් මගින් නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන වඩාත් මෑතකාලීන අර්බුදය සැලකිල්ලට ගනිමින්, රජයේ ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘතිය පලදායී වීමේ හැකියාව සම්බන්ධයෙන් තක්සේරුවක් සිදුකර තිබිණි. එහිදී නොතකා හැරිය නොහැකි තරමේ සෘණාත්මක විග්‍රහයක් මතුවී තිබිණි.

තිනකුරල් කතුවැකිය මගින් නිරීක්ෂණය කොට තිබුණේ වර්තමාන දේශපාලන උපක්‍රම මගින් හැඟවෙන ආකාරයට සමගි රජයේ කාලසීමාව තුළදී දේශපාලන විසඳුමකට පැමිණීමට ‘කිසිදු අවස්ථාවක් නොමැති’ බවයි. එම ලිපිය මගින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට වල කපනා මූලික සාධක ලෙසින් හඳුනාගෙන තිබුණේ ඒකාබද්ධ විපක්ෂයෙන් නැගෙන ජාතිකවාදී වූ ප්‍රතිරෝධය සහ ජනපති සිරිසේනගේ පසින් ඒ සඳහා කිසිදු කැපවීමක් නොමැති වීමයි. වීරකේසරී කතුවැකිය මගින් ඉස්මතු කොට දක්වා තිබුණේ දෙමළ ජාතික සන්ධානයේ මෙන් නොව ප්‍රධාන සිංහල දේශපාලන පක්ෂයන්ගේ අනාගතය, ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘතිය සාර්ථක වීම හෝ අසාර්ථක වීම සමගින් බැඳී නොපවතින බවයි. උදයන් කතුවැකිය මගින් තර්ක කොට තිබුණු ආකාරයට රජයට සිය ප්‍රතිඥාවන්හි පිහිටා කටයුතු කරන මෙන් බල කොට සිටීමට වාසියක් ලෙසින් දෙමළ ජාතික සන්ධානයට යොදාගත හැකි එකම උපායමාර්ගික ශක්තිය වන්නේ, -ජාත්‍යන්තර ප්‍රජාව මේ වනවිට දමිළ ජනතාව අත් හැර බොහෝ කල් වූවත්-  ජාත්‍යන්තර ප්‍රජාව තුළින්ම ලබාගත හැකි රාජ්‍ය තාන්ත්‍රික පීඩනය වන බවයි.

වෙරිටේ රිසර්ච් ප්‍රකාශනයකි

 

Related posts

Comments are closed.

Top