මුලතිව් ධීවර වාඩි ගිනිබත් වීමෙන් පවුල් අටකට පීඩා  | VIDEO

මුලතිව් දිස්ත්‍රික්කයේ වාඩි කිහිපයක් සැකකටයුතු ආකාරයෙන් ගිනිබත් වී ගේදොර සහ රැකියා ආම්පන්න විනාශයට පත්වීමෙන්  ධීවර පවුල් අටක් පීඩාවට පත්ව තිබේ.

අලම්පිල් හි නායාරු මුහුදු තීරයේ වාඩිලාගෙන ඉන්නා ධීවරයන්ගේ පොල්අතු පැලට සඳුදා රාත්‍රියේ ගිනි ඇවිලීම නිසා විපතට පත් පවුල් අටක දරුවන්ද ඇතුළු 35 දෙනකුට ආසන්න පිරිසක් වෙනුවෙන් හදිසි සහනාධාර ලබා දුන් බව ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ මුලතිව් දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රකාශකයකු ගගන හා කියා සිටියේය.

ගින්නට ගොදුරුවූ දේපල සම්බන්ධයෙන් වාර්තා කරන්නට ගිය අපේ වාර්තාකරුට දැකගන්නට ලැබී ඇත්තේ ධීවර යාත්‍රා, මෙවලම්,  විදුලි ජනක යන්ත්‍ර  සහ ගේදොර උපකරණ ඇතුළු සම්පත් දැවී හලුවී ඇති ආකාරයයි.

පිට පළාත් වලින් පැමිණ නීතිවිරෝධී ලෙස මසුන් මැරීමේ යෙදෙන ධීවරයන්ට පළාත්වාසීන් විරෝධය පෑමෙන් අනතුරුව මුලතිව් බලා පැමිණි ධීවර අමාත්‍යවරයා නීති විරෝධී දැල් පන්න ක්‍රම වලට තහංචි පැනවීමට පියවර ගන්නා බවට අනතුරු ඇඟවීමෙන් දෙදිනකට පසු නායාරු වාඩි ගිනිබත් වී තිබුනි.

ධීවර නියෝජිතයන්ගේ සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන්ගේද  සහභාගිත්වයෙන් මුලතිව් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉරිදා පැවති විශේෂ රැස්වීමකදී අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා යෝජනා කළේ දිගු කාලීන විසඳුමක් නිර්දේශ කිරීමට පත් කරන ලද කමිටුවේ තීන්දුව ලැබෙන තුරු ලයිලා සුරුක්කු සහ හැඹිලි දැල් තහනම් කිරීමට යෝජනා කරන බවයි.

නීති විරෝධී දැල් පන්න ක්‍රම වලට විරුද්ධව මුලතිව් ධීවරයන් විසින් දින දහයක් තිස්සේ දියත් කරන ලද විරෝධතා ව්‍යාපාරයක් අමාත්‍යවරයාගේ සහතිකයත් සමග අත් හිටුවන ලදී.

නයාරු වෙරළ තීරයේ  පොලිස් ආරක්ෂාව තරකර විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා තිබෙන බව කී ප්‍රදේශයේ ඉහල පොලිස් නිලධාරියෙක් ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගන්නා ලද පුද්ගලයන් අතරින් සැකකරුවන් පිලිබඳ හෝඩුවාවක් අනාවරණය කර ගත හැකි බවට විශ්වාසය පල කළේය.

Related posts

Comments are closed.

Top