අතුරුදහන් කාර්යාලයේ මේජර් ජෙනරාල් වරියගේ යෝග්‍යතාව ගැන ප්‍රශ්න

ශ්‍රී ලංකාවේ  අතුරුදහන් වුවන්ගේ ඉරණම හෙළි කර ගැනීම සඳහා රජය විසින් පිහිටුවා ඇති ආයතනයේ කොමසාරිස්වරියක ලෙස ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශ්‍රාමික හමුදා නිලධාරිනියක් විමර්ශන කටයුතු සඳහා යොදාගැනීම අර්බුදයක් ජනිත කර තිබේ.

හමුදා අත් අඩංගුවේ සිටි දහස් සංඛ්‍යාත පිරිසක් අතුරුදහන් වූ කාල වකවානුවක යුද හමුදාවේ ප්‍රධාන නීති  නිලධාරී තනතුර දැරූ මේජර් ජෙනරාල් මොහාන්ති පීරිස් ඒ පිළිබඳව විමර්ශනය සඳහා පත් කිරීම “ළබැඳියා අතර කැපී පෙනෙන ගැටුමක්”  විදහා දක්වතැ’යි පිටුවහලේ ජීවත්වන ලාංකික මාධ්‍යවේදීන්ගේ සංවිධානයක් පෙන්වා දෙයි.

“අවම වශයෙන් ගත් කල, කොමසාරිස්වරිය සාක්ෂිකාරියක් මෙන්ම විමර්ශිකාවකද වේ. මෙය ශ්‍රී ලංකාවේ නීතිඥ වරුන්ගේ චර්යා ධර්ම හා ආචාර විධි පද්ධතියෙන් තහනම් කරන ලද්දකි,” යි ඇගේ යෝග්‍යතාව ප්‍රශ්න කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) සංවිධානය පල කළ වාර්තාවකින් ප්‍රකාශ කරයි.

උතුරේ බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද්දන්ගේ ඥාතීන්ගේ සංවිධානය පවසා ඇති පරිදි කොමසාරිස් වරියගේ පත් කිරීම බරපතල ප්‍රතිවිරෝධතා මතුකරන්නකි.

යුද්ධාධිකරණ නඩු පැවරීම, හමුදා නිලධාරීන්ගේ වැඩ තහනම, ඔවුන්ට එරෙහි චෝදනා ගොනු කිරීම සහ අධිකරණ විමර්ශන සඳහා හමුදාපති වරයාගේ උපදේශ සම්පාදනය කිරීම හමුදා නීති අංශයේ අධ්‍යක්ෂ වරිය වශයෙන් මොහන්ති පීරිස් ගේ රාජකාරි වලින් සමහරක් බව ශ්‍රී ලංකා යුද හමුදාව පාර්ලිමේන්තුවට ලබා දී ඇති වාර්ෂික ප්‍රගති වාර්තාවල සඳහන් වේ.

ආගිය අතක් නැති අයකු ඉන්නා ස්ථානයක් හෝ අතුරුදහන් වීමට හේතු සොයා බැලීම සඳහා විමර්ශන පැවැත්වීමේ වරම සහිතව  2018 පෙබරවාරියේ පත් කරන ලද අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලය (OMP) මේ වනවිට උතුරේත් දකුණේත් අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවට ගොස් ඇත. ඒ මතබේදයට තුඩුදී සිටින හිටපු හමුදා නිලධාරිනියද සමගිනි.

“අතුරුදහන්වූවන් සම්බන්ධයෙන්, අනෙකුත් සංවිධාන, රජයේ දෙපාර්තමේන්තු සහ විශේෂ ජනාධිපති  පරීක්ෂණ කොමිසම් විසින් රැස්කර ඇති සහ රැස්කරමින් පවතින දත්ත භාවිතා කිරීමේ හැකියාව අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය සතුව පවතී,” යනුවෙන් OMP සම්බන්ධ පනතේ සඳහන් වෙයි.

මේජර් ජනරාල් වරිය කොමසාරිස් වරියක් ධුරයක් හොබවන අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයේ  ප්‍රධානියා පවසා ඇති පරිදි යුද්ධාවසානයේ ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවීමෙන් අනතුරුව ආගිය අතක් නොමැති එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු දෙමළ ජන සංඛ්‍යාව ගේ ඉරණම හෙළි කරගැනීම ප්‍රමුඛත්වයේ ලා සැලකේ.

“මෙයින් අදහස් වන්නේ, මේ කාරණය යුද හමුදාව විසින් කලින් විභාග කරනු ලැබුවේද, එසේ නොමැතිනම් ඒ ඇයිද, විභාග නොකරන්නට අණ දුන්නේ කවුද ආදී ප්‍රශ්න සම්බන්ධයෙන් සාක්ෂි දීමට යුද හමුදාව වෙනුවෙන් එහි හිටපු නීතිඥවරිය වශයෙන් මේජර් ජෙනරාල් මොහාන්ති පීරිස් කැඳවීමට සිදුවන බවයි,” යනුවෙන් JDS සංවිධානය තර්ක කරයි.

“OMP කාර්යාලය විසින් එක් රැස් කිරීමට බලය පැවරී ඇති දත්ත පිළිබඳ ඉතා වැදගත් තොරතුරු ඇය සතුව තිබිය හැකිය. අධිකරණයට ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබූ 58 වැනි සේනාංකය සතුව ඇතැයි විශ්වාස කෙරෙන භාරවුවන්ගේ ලැයිස්තුව මෙහිදී නම් කළ හැකිය.”

මානව හිමිකම් නීතිවේදී යැස්මින් සූකා ගේ ප්‍රධානත්වයෙන් යුත් සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (ITJP) විසින් ඥාතීන්ගේ ද දායකත්වයෙන් දෙමසකට ඉහතදී යාපනයේදී එලි දක්වන ලද සන්නද්ධ ගැටුමේ අවසාන දින කිහිපයේදී යුද හමුදාවට භාරවී අතුරුදහන් පිරිසක ලැයිස්තුවේ නම් සංඛ්‍යාව මේ වනවිට තුන්සියය ඉක්මවා ඇත.

ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා සාක්ෂියට

කෙසේ වෙතත්,  යුද්ධයෙන් නම අවුරුද්දකට පසු හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා  ප්‍රකාශ කර තිබුනේ 2009 මැයි 18 දා යුද හමුදාවට භාරවුවන් කිසිවකුත් අතුරුදහන් වී නැති  බවයි.

“යුද සමයේ සහ යුද්ධයේ අවසාන සති දෙකේදී අපි පවත්වාගෙන ගිය ඉතාම හොඳ ක්‍රමය අනුව ආරක්ෂක හමුදා වලට බාර වෙන අය වෙනුවෙන් තිබුනේ සුන්දර සැලසුමක්,” යයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල් ජසීරා රූපවාහිනියට පවසා තිබුනි.

“ඔහු දැන් දරන අදහස් වලට මේජර් ජෙනරාල් මොහාන්ති පීරිස් වගකිව යුතු නැතත්, ඔහුට එම තොරතුරු ලැබුනේ කොහින්ද යන්නත්, එම ප්‍රකාශය පදනම් වූයේ කලින් මොහාන්ති පීරිස් දුන් නීති උපදේශ මතද යන්නත් පිළිබඳව සාක්ෂි දීමට ඇය සහ ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා යන දෙදෙනාම OMP යට කැඳවිය යුතු වෙයි,” JDS විශේෂ ලියුම්කරුවකු ලියු වාර්තාවේ සඳහන් වෙයි.

ළබැඳියා අතර ගැටුමක් ඇතැයි හැඟීයන කිසිදු කාරියක නියැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී  ලාංකික නීතිඥවරුන්ට තහනම් කර තිබෙන බව එහි පෙන්වා දෙයි.

අතුරුදහන් වූවන් සෙවීම සඳහා පැවරී ඇති වගකීම පැහැර නොහරින බව මතබේදයට ලක් වී සිටින හිටපු හමුදා නිලධාරිනිය පවසා තිබේ.

“යුද හමුදාවේ මා කළ සේවය, OMP කොමසාරිස් වරියක ලෙසින් කටයුතු කිරීම සම්බන්ධයෙන් මට කිසිදු බලපෑමක් හෝ බාධාවක් ඇති නොකරයි,” යනුවෙන් මේජර් ජනරාල් මොහාන්ති පීරිස් JDS හා පවසා ඇත.

“එම රාජකාරිය ස්වාධීනව සහ මගේ ශක්ති ප්‍රමාණයේ හැටියට කිසිදු බියකින් හෝ වාසි සැලසීමකින් තොරව කිරීමට අපේක්ෂා කරමි.”

JDS සංවිධානය තර්ක කරන පරිදි “ස්වාධීන වීමට උපරිම ලෙස වීරිය කිරීම යන්න ළබැඳියා අතර ගැටුමක් බව පෙනී යන කාරණයක් සම්බන්ධයෙන් ප්‍රමාණවත් පිළිතුරක් නොවේ”.

ළබැඳියා අතර ගැටුම සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටලුව ගැන OMP ප්‍රධානී සාලිය පීරිස්ගෙන් කළ විමසීමට පිළිතුරු ලැබී නැති බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදියෝ (JDS) ප්‍රකාශ කරයි.

Related posts

Comments are closed.

Top