උස්සා වද දුන් කීත් නොයාර් නිදහස් කළ හැටි මහින්දට “මතක නෑ” | VIDEO

තමන්ගේ රාජ්‍ය පාලන සමයේදී පැහැරගෙන ගොස් වධ දෙනු ලැබූ මාධ්‍යවේදියකු නිදහස් කර යැවීමට උපදෙස් දීම පිළිබඳව මතකයක් නැති බව හිටපු ජනාධිපතිවරයා රහස් පොලිසියට පවසා තිබේ.

නේෂන් පුවත්පතේ සම සංස්කාරක කීත් නොයාර් 2008 මැයි මස 22 වැනිදා රාත්‍රියේ පැහැරගෙන යාම පිළිබඳව මාධ්‍යවේදීන් ද, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය කරු ජයසුරිය ද එවක ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දීමෙන් අනතුරුව මාධ්‍යවේදියා පසුදින ගල්කිස්ස ප්‍රදේශයේ මග දමා ගොස් තිබුනි.

හිටපු අමාත්‍යවරයාට අමතරව මාධ්‍යවේදී ලලිත් අලහ‍කෝන් සහ නේෂන් පුවත් පත මුද්‍රණය කළ රිවිර සමාගමේ සභාපතිවරයා වූ ක්‍රිෂාන්ත කුරේ ද පැහැරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂට දැනුම් දුන් අය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇත.

කීත් නොයාර් පැහැර ගැනීම ලැජ්ජාවට පත් විය යුතු කරුණක් බව ඒ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයාට කී තමන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වීමටත් එම අපරාධය හේතු වූ බව වර්තමාන කතානායක කරු ජයසුරිය ප්‍රකාශ කළේ යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ගල්කිස්ස අධිකරණයට වාර්තා කර තිබුනි.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට විජේරාම මාවතේ නිවසට ගිය රහස් පොලිස් නිලධාරීන්ට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබුනේ 2008 මැයි මස 22 වැනිදා රාත්‍රියේ කරු ජයසුරිය අමාත්‍යවරයා සමග කතා කළ දේ “මතක නැති” බවයි.

කෙසේ වෙතත්, කීත් නොයාර් නිදහස් කරගැනීමට තමන් මැදිහත් වූ බව විමර්ශනයෙන් පසුව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකින් ඇඟවිනි.

“නිදහස් වෙලා යන එක වරදක් දැ,” යි තමන් රහස් පොලිස් නිලධාරීන්ගෙන් විමසූ බව හිටපු ජනාධිපතිවරයා නිවසින් පිටතදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරී බී එස් පී තිසේරා සහ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට ගොස් සිටිනු දක්නා ලදී.

විමර්ශනය කෙරෙන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා, මහාචාර්ය ජී එල් පීරිස්, ජයන්ත වීරසිංහ, අලි සබ්රි, සහ ප්‍රේම්නාත් සී. දොලවත්ත යන නීතිඥවරුන්ද සිටි බව ගගන මාධ්‍යවේදියකු වාර්තා කළේය.

දරුණු වධ බන්ධනයට ගොදුරු වී රෝහල් ගතව පසුදාම සිය දරු පවුලත් සමග ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය කීත් නොයාර්ගෙන් එරටට ගොස් ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සති කිහිපයකට ඉහතදී පියවර ගෙන තිබුනි.

මහින්ද රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරුන් ඇතුළු ආධාරකරුවන් පිරිසක්ද රහස් පොලිස් නිලධාරීන් පැමිණෙන අවස්ථාවේ විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිවස හා ඒ අවට සිටිනු දැකගත හැකිවිය.

ඒ අතර සිටි ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයාද රහස් පොලිසිය විසින් කරන ලද්දේ මාධ්‍යවේදියකු නිදහස් කර යැවීම සම්බන්ධ විමර්ශනයක් බව තහවුරු කර සිටියේය.

කීත් නොයාර් පැහැරගෙන ගොස් වධහිංසා කිරීම පිළිබඳ සැකපිට අත් අඩංගුවට ගන්නා ලද යුද හමුදා බුද්ධි බලකායේ මේජර් ප්‍රභාත් බණ්ඩාර බුලත්වත්ත, සාජන් දුමින්ද වීරරත්න, සාජන් හේමචන්ද්‍ර පෙරේරා, කෝප්‍රල් ලසන්ත විමලවීර සහ කෝප්‍රල් නිශාන්ත ජයතිලක මේ වනවිට ඇප ලබා නිදහස්ව සිටිති.

හිටපු යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර රිමාන්ඩ් බාරයේය.

හමුදා නිලධාරීන් පිරිස කොම්පඤ්ඤවීදියේ පිහිටි ට්‍රිපොලි හමුදා කඳවුරට අනුයුක්‌තව රාජකාරි කළ අය බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

Comments are closed.

Top