ඇමති රිෂාඩ් ගේ නිල වාහන: තුනෙන් දෙකක් බොරු වෙයි

කර්මාන්ත හා වාණිජ කටයුතු භාර අමාත්‍යවරයා විසින් පාවිච්චියට ගන්නා වාහන ලෙසින් තුන් වාරයකට ප්‍රසිද්ධියට පත් කර ඇති සංඛ්‍යාලේඛන අතරින් අවම වශයෙන් දෙකක් හෝ අසත්‍ය බව හෙළිදරව් වී තිබේ.

මාධ්‍යවේදියකු විසින් කරන ලද විමසීමකට පිළිතුරු වශයෙන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ පරිපාලන නිලධාරිනිය මුල්ම වතාවට දැනුම් දී තිබුනු පරිදි අමාත්‍යවරයා පාවිච්චියට ගන්නා වාහන සංඛ්‍යාව දහයකි. ඒ සඳහා යොදවා ඇති රියදුරන් සංඛ්‍යාව අටකි.

ලේකම් වරයා වෙනුවෙන් ටෙක්ලා පී කුමාරගේ අත්සන් කොට එවා තිබු ලිපියේ වාහන දහයේ අංකද සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ ජනතාවගේ අයිතියක් තහවුරු කෙරෙන පනතක් ලෙසින් මහත් ප්‍රශංසාවට පාත්‍රවූ තොරතුරු දැනගැනීමේ පනත යොදාගෙන ලබාගත් විස්තර තරිඳු ජයවර්ධන විසින් පල කරන ලද අගෝස්තු 16 දාම අමාත්‍යංශයේ පාලන හා මුදල් පිලිබඳ අතිරේක ලේකම් මාධ්‍යවේදියාට දන්වා තිබුනේ “නිවැරදි නොවන” එම තොරතුරු “අතපසුවීම නිසා සිදුවූ ප්‍රමාද දෝෂයක්” බවයි.

එම ලිපියේ දැක්වෙන පරිදි අමාත්‍ය සහාය කාර්ය මණ්ඩලයට වාහන පහක් දී ඇත. ඒවායේ අංකද දැක්වේ. තවත් “අතිරේක” වාහන දෙකකි. ඒ අනුව හතකි.

“ගරු අමාත්‍යවරයාගේ රාජකාරි ප්‍රදේශය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශද අයත් බැවින් ඔහු සඳහා අතිරේක වාහන 02ක් පමණක් යොදවා ඇති නමුත්, එම වාහන සඳහා රියදුරන් හෝ ඉන්ධන සැපයීමක් අමාත්‍යංශයෙන් දරනු නොලබන,” බව අතිරේක ලේකම් ටී ඩී එස් පී පෙරේරා ගේ අත්සනින් එවා ඇති ලිපියේ දැක්වේ.

එදිනම, එම ලේකම්වරයාම එවා ඇති තවත් ලිපියක දැක්වෙන පරිදි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් භාවිතා කරන “නිල වශයෙන් තමන්ට හිමි” වාහන සංඛ්‍යාව තුනකි. අංක දක්වා නැත. “අතිරේක වාහන” ගැන ද සඳහන් නොවේ.

ඒ අනුව කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් පාවිච්චි කරන වාහන සංඛ්‍යාව ගැන ලේකම්වරුන් දෙපලක් විසින් දෙන ලද සංඛ්‍යාලේඛන තුන අතරින් අඩුම වශයෙන් දෙකක ඇත්තේ අසත්‍ය තොරතුරුය.

එකම තොරතුරු ඉල්ලීමට පිළිතුරු තුනක් ලබා දී ඇත්තේ නිලධාරීන්ට එල්ල වූ බලපෑම් නිසා බව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ දැඩි විශ්වාසයයි.

“තොරතුරු පනත අනුව බොරු තොරතුරු දීම පමණක් නොව තොරතුරු නිලධාරියාට බොරු තොරතුරු සැපයීමට බලපෑම් කිරීමද නීති විරෝධීය,” යි ඔහු පවසයි.

තොරතුරු කොමිසමේ වපසරිය

පුරවැසියකු තොරතුරු ඉල්ලන විට, තමන්ට දෙන තොරතුරු සත්‍ය බවට සහතික කරන ලෙස ඉල්ලා සිටිය හැකි බව පෙන්වා දෙන ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී මාධ්‍ය විශ්ලේෂකයෙක් පනතේ 39 (1) (අ) වගන්තිය යටතේ බොරු තොරතුරු දීම වරදක් බව තහවුරු කරයි.

“එසේම පොදු අධිකාරියක් තිබෙන තොරතුරු විනාශ කිරීම, වෙනස් කිරීම හෝ වසන් කිරීම, ඕනෑම රාජ්‍ය නිලධාරියකුට දඬුවම් ලද හැකි වැරදි වනවා,” යි ගගන හා කියා සිටි නාලක ගුණවර්ධන එවන් අවස්ථාවක තොරතුරු කොමිසම වෙත පැමිණිලි කර විමර්ශනයක් ඉල්ලා සිටිය හැකි බව පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසන පරිදි තොරතුරුවල සත්‍ය අසත්‍යතාව විමසීමේ හැකියාවක් කොමිසම සතුව නැත.

“තොරතුරු කොමිසමට පුලුල් පරාසයක විහිදුනු බලතල තිබෙතත්, එය ප්‍රතිචාර දක්වන්නේ මහජනයාගෙන් ලැබෙන අභියාචනා හා පැමිණිලිවලටයි. එසේ නොමැතිව දහස් ගණනක් වන පොදු අධිකාරීන්, තොරතුරු පනත යටතේ ලබා දෙන තොරතුරුවල නිවැරදි බව විමසීමට හෝ එය සහතික කිරීමට හෝ කොමිසමට යාන්ත්‍රණයක් නෑ. පිළිගත් ජාත්‍යන්තර සම්ප්‍රදාය වන්නේත් මෙයයි.”

බලධාරීන් විසින් ලබාදෙන තොරතුරු ලද පමණින් විශ්වාස කිරීමේ අවදානම ගැනද අනතුරු අඟවන ඔහු විමර්ශනශීලී වීමේ වගකීමක්ද පුරවැසියා සතු බව පෙන්වා දෙයි.

“තොරතුරු ඉල්ලීමක් හරහා තමන්ට ලැබෙන තොරතුරු සමීපව අධ්‍යයනය කිරීමත්, ඒ ගැන සංශයවාදී වීමත් (sceptical) පුරවැසියන් ලෙස අපට තිබෙන වගකීමක්. හෙළි වූවොත් දේශපාලකයන් හෝ නිලධාරීන් අපහසුතාවට පත් විය හැකි ආකාරයේ තොරතුරු නොදී සිටීමට, අඩක් දීමට, විකෘති කොට නිකුත් කිරීමට, අධි පරිමාවෙන් දී පුරවැසියා ව්‍යාකූල කිරීමට ඉඩ තිබෙනවා. තොරතුරු දෙන්නා කුමක් දුන්නත් පුරවැසි අප එය ඉතා පරීක්ෂාකාරීව විමර්ශනය කළ යුතුයි,” යනුවෙන් නාලක ගුණවර්ධන කියා සිටී.

අමාත්‍යවරයකුට නිල වශයෙන් පාවිච්චි කිරීමට අවසර ඇත්තේ වාහන තුනක් සඳහා පමනි.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ස්ථාපනය කරනු ලැබූ ස්වාධීන ව්‍යවස්ථාපිත කොමිසමක් වන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති වරයා මහින්ද ගම්මන්පිලයි.

විනිසුරු ඒ.ඩබ්ලිව්.ඒ. සලාම්, ජ්‍යෙෂ්ඨ නීතිඥ  කිශාලි පින්ටෝ-ජයවර්ධන, මානව හිමිකම් ක්‍රියාධර එස්. ජී. පුංචිහේවා හා ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් සෙසු කොමසාරිස් වරුන් හා වරියන් වෙති.

Related posts

Comments are closed.

Top