“යුද අනාථයන් මදිවට සංවර්ධන අනාථයෝ” උතුර-දකුණ එක්වී කොළඹ විරෝධයක් | VIDEO

යුද්ධයෙන් උන්හිටි තැන් අහිමිවී සිටින උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් සන්නද්ධ සේනා බලයෙන් ව්‍යාපාරික කටයුතු සඳහා යොදවා ගැනීම සම්බන්ධයෙන් රජය අගනුවරදී දැඩි දෝෂ දර්ශනයකට ලක් විය.

“අපේ ඉඩම් -අපේ ජීවිතය” යන්න තේමා කොටගෙන කොළඹ ලිප්ටන් වටරවුමේ පැවති උද්ඝෝෂණයකදී යුද්ධය අවසන් වී අවුරුදු නමයක් ගතවීත් යුද හමුදාව තවමත් පාරම්පරික ඉඩම් වල වාඩිලාගෙන හිඳීමට     විරෝධය දැක්වීම සඳහා උතුරේත්, දකුණේත් පිරිස් එක්ව සිටියහ.

විරෝධතාවට නායකත්වය දුන් ආණ්ඩුව බලයට පත් කිරීමට වෙහෙසුනු ක්‍රියාධරයෙක් ඉඩම් නිදහස් කරන බවට රජය කරන ප්‍රසිද්ධ ප්‍රකාශ අසත්‍ය බව කියා සිටියේය.

ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ නායකයා ප්‍රකාශ කළේ සන්නද්ධ හමුදා යොදවා ව්‍යාපාර කටයුතු කරමින් යුද අනාථයන් ට අමතරව “සංවර්ධන අනාථයන්” පිරිසක්ද බිහිකොට ඇති බවයි.

“යුද්ධ හමුදාව, නාවික හමුදාව, එහෙම නැත්නම් වෙනත් ක්‍රියාමාර්ග වලින් අපේ ඉඩම් සංචාරක කර්මාන්තයට, විශේෂ ආර්ථික කලාප ඇතුළු සංවර්ධන කටයුතු සඳහා අල්ලාගෙන ඉන්නවා,” යැයි ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

ජනාධිපතිවරයා පවසා ඇත්තේ රජයේ ආරක්ෂක අංශ විසින් වාඩිලාගෙන සිටි උතුරු නැගෙනහිර භූමියෙන් බහුතර ඉඩම් ප්‍රමාණයක් මුල් හිමිකරුවන්ට ආපසු පවරා දී ඇති බවයි.

ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින් සියයට 88 ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර අවසන් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මයිලිඩ්ඩි ධීවර වරාය ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් යාපනයේ පැවති උත්සවයකදී ප්‍රකාශ කර තිබුනි.

රජයේ ආරක්ෂක අංශ විසින් බලහත් කාරයෙන් අල්ලා ගන්නා ලද ඉඩම් ආපසු ලබාදෙන වගට රජය “ජනතාව රවට්ටන, ලෝකේ රවට්ටන” අසත්‍ය ප්‍රකාශ කරන බවට හෙලා දුටු ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර, ජාතික ආරක්ෂාව නමින් ජනතාවගේ පාරම්පරික භූමිය නැවත පවරා ගෙන ඇති ප්‍රදේශ කිහිපයක් පිළිබඳ විස්තරද ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා උතුරු නැගෙනහිර අත්පත් කරගෙන ඉන්නා භුමිය පිළිබඳව වසරකට ඉහතදී තොරතුරු දැනගැනීමේ පනත යොදාගෙන මාධ්‍යවේදියකු විසින් කරන ලද ඉල්ලීමට ආරක්ෂක අමාත්‍යාංශය මේතාක් පිළිතුරු දී නැත්තේ එය “ජාතික ආරක්ෂාවට” අදාළ බව පවසමිනි.

හෙළි කරනු ලබන තොරතුරු පල කිරීම මගින් උතුරු නැගෙනහිර හෝටල් ආදී සංචාරක ව්‍යාපාර පවත්වාගෙන යන බව ප්‍රසිද්ධියට පත්වී ශ්‍රී ලංකා යුද හමුදාව ගැන “නිෂේධනීය ප්‍රතිරූපයක්” මැවෙනු ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය තොරතුරු කොමිසම හමුවේ බිය පල කර තිබුනි.

හමුදා තර්කය හා එකඟ නොවූ ශ‍්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ නියමය වී ඇත්තේ ඉල්ලු විස්තර ලබා දෙන ලෙසයි.

Related posts

Comments are closed.

Top